මුස්ලිම් සාන්තුවරයාගේ සොහොන පිළිසකර කෙරේ

  • 2017 මැයි 6
පිළිසකර කෙරුණ සාන්තුවරයාගේ සොහොන
Image caption පිළිසකර කෙරුණ සාන්තුවරයාගේ සොහොන

පසුගියදා නාඳුනන පිරිසක් විසින් හානි කරන ලද ගාල්ලේ කොටුව ඇතුළත කොටු බැම්මට පිටත මුහුද ආසන්නයේ පිහිටා තිබෙන මුස්ලිම් ජාතික සාන්තුවරයෙකුගේ සොහොන මුස්ලිම් ප්‍රජා නායකයන් විසින් යළි ප්‍රතිසංස්කරණය කරනු ලැබ තිබේ.

පසුගිය අප්‍රේල් මාසයේ කිසියම් පිරිසක් එම සොහොන වටා තිබුණු බීරළු වැට කඩා දමා තිබුණි.

යුද හමුදා කඳවුරක් ආසන්නයේ ආරක්‍ෂිත භූමියක පිහිටා ඇති එම සොහොන සියවස් ගණනක් පමණ පැරණි බව විශ්වාස කෙරෙන අතර, සාලිහ් වලියුල්ලාහ් සාන්තුවරයා සිහිකරමින් මුස්ලිම් ජනතාව එම ස්ථානයේ වාර්ෂික උත්සවයක්ද පවත්වති.

මීට ශතවර්ෂ ගණනාවකට පෙර සොහොයුරන් හත් දෙනකුද සමග ශ්‍රී ලංකාවට ලඟා වූ සාලිහ් වලියුල්ලාහ් (සාන්තුවරයා) ගේ දේහය එහි තැන්පත්කර තිබෙන බව මුස්ලිම් ජනතාව විශ්වාස කරති.

සාන්තුවරයා සිහිකිරීමේ වාර්ෂික උත්සවය මේ වසරේ මැයි 21 වෙනි දින පැවැත්වීමට නියමිත බැවින් ගාල්ල කොටුව මුස්ලිම් සංස්කෘතික සංගමය විසින් සොහොනේ විනාශ වූ බීරළු වැට ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කර තිබේ.

Image caption සොහොනට හානි කර තිබුණ ආකාරය

ශ්‍රී ලංකා යුද හමුදාවද එම උත්සවයට පූර්ණ අනුග්‍රහය දක්වන බව ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව පවසති.

සොහොනට හානි කිරීම පිළිබඳව මුස්ලිම් සංස්කෘතික සංගමය පැමිණිල්ලක් ගොනු කිරීමෙන් අනතුරුව ගාල්ල පොලිසිය ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර