"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා"

  • 2017 මැයි 6
සුදර්ශන් පට්ටනයික් Image copyright Twitter

ලබන සතියේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර වෙසක් උත්සවය අවස්ථාවේ ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරන බව ඉන්දීය කලා ශිල්පියෙක් පවසයි.

ලබන බදාදා (මැයි 10) සිට ඉරිදා (මැයි 14) දක්වා බත්තරමුල්ලේ පාර්ලිමේන්තුව අසල දියවන්නා ඔය අසල උදෑසන 10 සිට සවස 07 දක්වා සිය වැලි මූර්ති ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන මෙන් ඉන්දීය වැලි මූර්ති ශිල්පී සුදර්ශන් පට්ටනයික් ශ්‍රී ලංකාවාසීන්ට ආරාධනයක්ද කරයි.

ඉන්දීය පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබූ වැලි මූර්ති ශිල්පියා ඒ බව සඳහන් කරන්නේ ට්විටර් ජාලය ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමිනි.

ජාත්‍යන්තර වෙසක් දින උත්සවයට සහභාගි වීම පිණිස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද ලබන සතියේ ශ්‍රී ලංකාව සංචාරයක යෙදීමට නියමිතය.

ඉන්දීය අගමැතිවරයාගේ සංචාරය අතරතුර දෙරට අතර කිසිදු ගිවිසුමකට අත්සන් නොතැබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළේය.

ත්‍රිකුණාමලයේ ඛනිජ තෙල් ටැංකි ඉන්දියාවට පවරා දීමට සැරසෙන බවට චෝදනා කරමින් ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති පසුගියදා වැඩවර්ජනයක නිරත වූ අතර, වෘත්තීය සමිති නගන චෝදනාව ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි.