ෆේස්බුක් දැන්වීමක් පිළිබඳව පොලිසියට පැමිණිල්ලක්

සාවද්‍ය දැන්වීම් කරුවන් හඳුනා ගැනීම දුෂ්කර අභියෝගයකි
Image caption සාවද්‍ය දැන්වීම් කරුවන් හඳුනා ගැනීම දුෂ්කර අභියෝගයකි

බරවා මර්ධන ව්‍යාපාරයේ රුධිර පරීක්ෂණ වැඩපිළිවෙලට බාධා සිදු කෙරෙන මට්ටමේ නොමඟ යවන සුළු දැන්වීමක් ෆේස්බුක් ගිණුමක පළ කරනු ලැබීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් දොස්තර ජයසුන්දර බණ්ඩාර පවසයි.

එම සාවද්‍ය දැන්වීම ඇතැම් ෆේස්බුක් ගිනුම් හිමියන් අතර සංසරණය වෙමින් ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

රුධිර පරීක්ෂණ මුවාවෙන් රාත්‍රී කාලයේ නිවෙස්වලට පැමිණෙන IS සංවිධානයේ කණ්ඩායමක් මහජනයාට HIV ආසාදනය කරන හෙයින් ඉන් ප්‍රවේශම් වෙන මෙන් ඉහත කී දැන්වීම මගින් පණිවුඩයක් ලබා දී ඇත.

එහෙත් එවැනි IS මැදිහත්වීමක් ගැන දැන ගන්නට නැති අතර, එම සාවද්‍ය පණිවුඩය ශ්‍රී ලංකාවේ බරවා මර්දන ව්‍යාපාරයට බරපතළ හානියක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් දොස්තර ජයසුන්දර බණ්ඩාර බීබීසී සිංහල සේවය කළ විමසීමක දී සඳහන් කළේය.



"සෞඛ්‍ය අමාත්‍යංශයේ ක්ෂේත්‍ර නිලධාරීන් නිල ඇඳුමින් යුතුව හඳුනාගත් ප්‍රදේශයන්හි රුධිර පරීක්ෂණ කටයුතු සඳහා නිරත කෙරෙනවා. එය බරවා රෝගය මැඩලීමේ ව්‍යාපෘතියේ අංශයක්. බරවා පරීක්ෂණ සඳහා රුධිර සාම්පල ගැනීම සිදුකළ යුත්තේ රාත්‍රී කාලයේ. එවැනි තත්වයක් යටතේ ඊට බාධා සිදු කෙරෙන ආකාරයේ අසත්‍ය ප්‍රකාශන නිකුත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළා" යනුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා බීබීසියට කියා සිටියේය.

පාලනය දුෂ්කරයි

Image copyright Getty Images

ඉහත කී කර්තෘ අඥාත දැන්වීම කවුරුන් විසින් කොතැනින් පටන් ගත්තේද යන්න අපැහැදිලි නමුත් එය සෞඛ්‍ය සේවාව වැනි අංශවලට අහිතකර බලපෑමක් ඇතිකරන බව සමාජ මාධ්‍ය ජාලය පිළිබඳ විශ්ලේෂක මාධ්‍යවේදී නාලක ගුණවර්ධන පවසයි.

එහෙත් මෙම ප්‍රබන්ධය ෆේස්බුක් ගිණුමකට එක් කරන ලද පුද්ගලයා සොයා ගැනීම අසීරු කරුණක් විය හැකි බවත් නාලක ගුණවර්ධන පෙන්වා දෙයි.

"පුද්ගලයකුට වෙනත් ආරූඪ නමකින් ෆේස්බුක් පිටුවක් නිර්මාණය කර ගනිමින් මෙවැනි දැන්වීම් පළ කරන්න පුළුවන්. ඉන් පසුව එම පණිවුඩය ෆේස්බුක් ජාලය තුළ සංසරණය කරගත් පුද්ගලයන් ඊට වැරදිකරුවන් වෙන්නේ නැහැ" යනුවෙන් නාලක ගුණවර්ධන පවසයි.

ෆේස්බුක් ගිණුම් හිමියන් යම්කිසි අනතුරුදායක ආරංචියක් ලදවිට එයින් ප්‍රවේශම් වෙන ලෙස හිත මිතුරන්ට දැනුම් දීම නිතර සිදුවෙන බවත් නාලක ගුණවර්ධන සඳහන් කරයි.

"පිදුරු ගොඩක ඉදිකටුවක්"

Image copyright AFP

ලොව පුරා භාෂා සිය දහස් ගණනකින් ෆේස්බුක් පණිවුඩ සංසරණය වෙමින් ඇති හෙයින් ඒවා අධීක්ෂණය සහ පාලනය ප්‍රායෝගික වශයෙන් දුෂ්කර කාර්යයක් වන බවත් නාලක ගුණවර්ධන පෙන්වා දෙයි.

"එය පිදුරු ගොඩක ඉදිකටුවක් සොයායාම වගේ දුෂ්කර කාර්යයයක්" ඔහු පවසයි.

කෙසේවුවද, මෙවැනි අකටයුතු පාලනය සඳහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව ෆේස්බුක් නිර්මාතෘවරුන් දිගින් දිගටම විසඳුම් සොයමින් සිටින බවත් නාලක ගුණවර්ධන කියාසිටියි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර