රාජිත කැබිනට් ප්‍රකාශක පදවියෙන් ඉවත් කරන මෙන් ඉල්ලීමක්

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
"රාජිත කියන්නේ ඔහුගේ පෞද්ගලික මත"

සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න කැබිනට් සම ප්‍රකාශක පදවියෙන් ඉවත්කොට ඔහු වෙනුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා වෙනත් කැබිනට් ප්‍රකාශකයකු පත්කරන මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ආණ්ඩුව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරුන් කණ්ඩායමක් ඉල්ලා සිටිති.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධීවර ඇමති මහින්ද අමරවීරගේ නිවසේ පැවැත්වුන සාකච්ඡාවකදී එම තීන්දුව ගත් බව බීබීසී සිංහල සේවය කළ විමසීමක දී කම්කරු ඇමති ජෝන් සෙනෙවිරත්න සහතික කළේය.

රාජිත සේනාරත්න ඇමතිවරයා සම කැබිනට් ප්‍රකාශක පදවියෙන් ඉවත් කිරීමට හෝ එසේ නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් වෙනම කැබිනට් ප්‍රකාශකයකු පත් කිරීමට පියවර ගන්නාමෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට තම ඇමති කණ්ඩායම ඒකමතිකව තීන්දු කළ බව කම්කරු ඇමතිවරයා කියා සිටියි.

පෞද්ගලික ප්‍රකාශන

එවැනි තීරණයක් ගැනීමට තුඩුදුන් පසුබිම විස්තර කළ කම්කරු ඇමති ජෝන් සෙනෙවිරත්න "ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක අංශයට අදාළ නව අධිකාරියක සභාපති පදවියට පත් කරන බවක් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩල සාකච්ඡාවක දී ප්‍රකාශ කරන ලද" බවට රාජිත සේනාරත්න ඇමතිවරයා කැබිනට් මාධ්‍ය හමුවක දී සඳහන් කිරීම මුල්කර ගනිමින් මතු වූ විවාදය ඊට හේතු වූ බව සඳහන් කළේය.

"ජනාධිපතිතුමා 'කොලොප්පමට' කළ ප්‍රකාශයක් රාජිත සේනාරත්න ඇමතිවරයා කැබිනට් තීන්දුවක් ලෙස කැබිනට් මාධ්‍ය හමුවකදී ප්‍රකාශයට පත්කළා. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇමතිවරයාට ආරක්ෂක අංශයේ ඉහල පදවියක් පැවරීමක් ගැන වාර්තා වීමත් සමඟ වෘත්තීය සමිති කලබල වුනා. අනතුරුව මම ජනාධිපතිතුමාට කතා කළාම එතුමා කිව්වේ - එතුමා කියපු දේ වෙනස් කරලා -ප්‍රකාශ කර ඇති බවයි" ජෝන් සෙනෙවිරත්න ඇමතිවරයා පවසයි.

"රාජිත සේනාරත්න ඇමතිවරයා ඉන් පෙරත් එවැනි දේ කැබිනට් මාධ්‍ය හමුවලදී කියල තියෙනව. කැබිනට් තීන්දු තීරණ නොවෙයි-තමන්ගේ පෞද්ගලික මත කැබිනට් තීරණ හැටියට ප්‍රකාශයට පත් කරනවා. ඔහු කියන්නේ ඔහුගේ පෞද්ගලික අදහස්" ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Image caption සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමතිවරයා

එම කාරණය මුල්කර ගත් විවාදය දිග්ගැසෙමින් පවතිද්දී රාජිත සේනාරත්න ඇමතිවරයා මාධ්‍ය හමුවක දී මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලියේදී කළ කතාවේදීත් තමාට දොස් පවරන ලද බව කම්කරු ඇමතිවරයා පෙන්වා දෙයි.

එවැනි තත්වයක් යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරුන් කණ්ඩායමක් රාජිත සේනාරත්න ඇමතිවරයා සම කැබිනට් ප්‍රකාශක පදවියෙන් ඉවත් කරන මෙන් ඉල්ලා සිටීමට තීන්දු කළ බව ඔහු කියා සිටියි.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීමට තම කණ්ඩායම තීරණය කළ බව පවසන කම්කරු ඇමතිවරයා නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර ,සුසිල් ප්‍රේම්ජයන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා,ඩිලාන් පෙරේරා, චන්දිම වීරක්කොඩි සහ දයාසිරි ජයසේකර යන ඇමතිවරුන් එම සාකච්ඡාවට සහභාගී වූ බවත් සඳහන් කළේය.

වෘත්තීය නිපුණතා ඇමති මහින්ද සමරසිංහ ගේ සහයෝගයත් තම යෝජනාවට පළ වූ බවත් කම්කරු ඇමති ජෝන් සෙනෙවිරත්න පවසයි.