ලෝකයේ ලාබාලම නායකයන් ගැන මේ කරුණු දැන සිටියාද?

  • 2017 මැයි 8
Vanessa D'Ambrosio
Image caption සැන් මැරීනෝ හි රාජ්‍ය නායිකාවවන 29 හැවිරිදි වැනෙසා දි ඇම්බ්‍රෝසියෝ ලොව ලාබාලතම රාජ්‍ය නායිකාවය

ප්‍රංශයේ නව ජනාධිපති පදවියට තේරී පත් වී සිටින 39 හැවිරිදි එම්මානුවෙල් මැක්‍රෝන්, එරට ලාබාලතම ජනාධිපතිවරයාය. ඔහු විසින් බිඳ දමනු ලැබුවේ 40 හැවිරිදි වියේදී බලයට පත්වෙමින් නැපෝලියන් බොනපාට් විසින් 1848 දී පිහිටුවනු ලැබූ වසර 170 ක් පැරණි වාර්තාවකි.

ලොව පුරා වෙනත් රටවල් පාලනය කරන තරුණ නායක, නායිකාවන් පිළිබඳ විමසුමකි මේ.

වැනෙසා දි ඇම්බ්‍රෝසියෝ, සැන් මැරීනෝ

ලෝකයේ ලාබාලතම රාජ්‍ය නායකයා ලොව කුඩාම රාජ්‍යයක්වන සැන් මැරීනෝ හි රාජ්‍ය නායිකාවවන වැනෙසා දි ඇම්බ්‍රෝසියෝ ය.

ඇය 29 හැවිරිදිය.

Image caption 34 හැවිරිදි කිම් ජෝන් අන් මේ දිනවල ලොව පුරා අවධානයට පාත්‍ර වී සිටී

ඉතාලියෙන් වට වූ ඉතා කුඩා රාජ්‍යයක්වන සැන් මැරීනෝ හි ජනගහනය 33,000 කි.

කිම් ජොන් අන්, උතුරු කොරියාව

උතුරු කොරියාවේ නායක කිම් ජොන් අන්, වැනෙසා දි ඇම්බ්‍රෝසියෝ හැරුණු විට ලොව ලාබාලතම රාජ්‍ය නායකයාය.

ඔහු 34 හැවිරිදිය.

2012 සිට බලය හොබවන ඔහුගේ පාලනය යටතේ උතුරු කොරියාව න්‍යෂ්ඨික ආයුධ සහ දිගු දුර විදින මිසයිල නිපදවීමට උත්සාහ දරමින් සිටියි.

Image copyright AFP
Image caption භූතානයේ ජිග්මේ රජතුමා 37 හැවිරිදිය

උතුරු කොරියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රාජ්‍යයන් අතර උත්සන්න වෙමින් පවතින උණුසුම හේතුවෙන් කිම් ජොන් අන් කෙරෙහි මේ දිනවල ප්‍රබල අවධානය පළවෙමින් තිබේ.

යූරි රතාස්, එස්තෝනියාව

2016 දී පැවැත්වුණු මහ මැතිවරණයේදී සෝවියට් දේශයෙන් බෙදී වෙන්වුණු රාජ්‍යයක්වන එස්තෝනියෝවේ බලයට පත්වූයේ සන්ධාන ආණ්ඩුවකි.

එහි අගමැතිවරයා ලෙසින් තෝරාගන්නා ලද 38 හැවිරිදි යූරි රතාස්, බෝල්ටික් කලාපීය රාජ්‍යයක්වන එස්තෝනියාවේ රුසියානු භාෂාව කතාකරන සුළු ජාතික වැසියන් අතර ජනප්‍රිය නායකයෙකි.

වොලොදිමීර් ග්රොයිස්මාන්, යුක්රේනය

තවත් 38 හැවිරිදි දේශපාලන නායකයකුවන වොලොදිමීර් ග්රොයිස්මාන් 2016 දී යුක්රේනයේ අගමැති පදවියට පත්කරන ලදි.

Image copyright AFP
Image caption එස්තෝනියාවේ නායක යූරි රතාස් 38 හැවිරිදිය

යුරෝපයේ දෙවැනි විශාලතම රාජ්‍යයවන යුක්රේනයේ බලගතු රාජ්‍ය නායක පදවිය හොබවන්නේ ජනාධිපති පෙත්‍රෝ පොරොෂෙන්කෝය.

කෙසේ වුවත් වොලොදිමීර් ග්රොයිස්මාන් යුක්රේන ඉතිහාසයේ දෙවැනි ලාබාලතම අගමැතිවරයාය. ජාත්‍යන්තරවාදියකුවන ඔහු යුක්රේනය නේටෝවට සහ යුරෝපා සංගමයට බන්දින්ම අනුමත කරන නමුත් සමලිංගික විවාහවලට විරෝධය පළකරයි.

ජිග්මේ ඛේසාර් වැන්ග්චුක් රජතුමා, භූතානය

ජනතා ඡන්දයෙන් තේරී පත් නොවූ රාජ්‍ය නායකයන්ද ඇතුළත් කරන්නේ නම්, භූතානයේ රාජ්‍ය නායක 37 හැවිරිදි ජිග්මේ ඛේසාර් වැන්ග්චුක් රජතුමාද ලොව ලාබාලම රාජ්‍ය නායකයෙකි.

Image copyright AFP
Image caption 40 හැවිරිදි වියේදී බලයට පත්වෙමින් නැපෝලියන් බොනපාට් විසින් 1848 දී පිහිටුවා තිබුණු වසර 170 ක් පැරණි වාර්තාවක් එම්මානුවෙල් මැක්‍රෝන් විසින් බිඳ දමනු ලැබිණ

2006 සිට රටේ බලය හොබවන ඉතා ජනප්‍රිය පාලකයකුවන ජිග්මේ රජතුමා හිමාලය පරිසරය ආරක්ෂා කරමින් භූතානය දියුණු කිරීමට උත්සාහ කරන පාලකයකු ලෙසින් ප්‍රකටය.

රාජාණ්ඩු පාලනයේ සිට ව්‍යවස්ථාදායක රාජාණ්ඩු පාලනයක් දක්වා රටේ පාලන ක්‍රමය සංශෝධනය කිරීමේ ක්‍රියාදාමයට ජිග්මේ රජතුමා සහාය පළකරයි.

තමීම් බින් හමාඩ් අල් තානි ෂෙයික්වරයා, කටාරය

කටාරයේ පාලනය හොබවන තමීම් බින් හමාඩ් අල් තානි ෂෙයික්වරයා, සිය පියා අභාවයෙන් අනතුරුව 2013 දී රටේ පාලනය භාරගත්තේය.

2022 පාපන්දු ජගත් කුසලානය කටාරයට ලබාගැනීම පිණිස 36 හැවිරිදි ප්‍රබල දායකත්වයක් දැරූ අතර ඔහු රටේ ජාතික ඔලිම්පික් කම්ටුවේ සභාපතිවරයාද වේ.

Image copyright Reuters
Image caption රොබට් මුගාබේ ලොව වයෝවෘද්ධම රාජ්‍ය නායකයාය

කලක් ගල්ෆ් කලාපීය රටවල් අතර දිළිඳුම රටක්ව තිබූ කටාරය, මේ වනවිට ධවත්ම රාජ්‍යයක් බවට පත් වී තිබෙන නමුත් සංක්‍රමණික සේවකයන්ට සලකන ආකාරය පිළිබඳව කටාරයට නිරන්තරයෙන් චෝදනා එල්ල වේ.

වයෝවෘද්ධම නායකයා

අනෙක් අතට සිම්බාබ්වේ රාජ්‍යයේ නායකත්වය හොබවන 93 හැවිරිදි රොබට් මුගාබේ ලෝකයේ වයෝවෘද්ධම රාජ්‍ය නායකයාය.

1980 සිට ජනාධිපති පදවිය දරන ඔහු පවසන්නේ රටේ ජනතාව තමන් පලවා හරින තුරු පදවියෙන් ඉවත්ව නොයන බවය.

70ව දශකයේදී සුළුතර සුදු ජාතික පාලනයට එරෙහිව සටන් වැදුණු ජනතා නායකයකු වශයෙන් රොබට් මුගාබේ ජනතා ගෞරවයට පාත්‍ර විය.

එහෙත් විරුද්ධ මතධාරීන්ට එරෙහිව දැඩි මර්ධනයක් දියත් කරන බවටත් මැතිවරණ කොල්ලකන බවටත් ඔහුට බරපතල චෝදනා එල්ලවෙමින් තිබේ.

සබැඳි යොමු:

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර