වෙසක්: කුලදරුවන් දහසක් සසුනට

බෞද්ධ භික්ෂු Image copyright Getty Images

ජාත්‍යන්තර වෙසක් උළෙලට සමගාමිව කුලදරුවන් දහසක් සසුන්ගත කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන බව බුද්ධ ශාසන හා අධිකරණ කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.

එහි එක් පියවරක් වශයෙන් දම්මුල්ල ශ්‍රී සුධම්ම විහාරස්ථානයේ දී කුලදරුවන් 75 දෙනෙකු සහ ඓතිහාසික රුවන්වැලි මහාසෑය අභියස දී කුලදරුවන් 215 දෙනෙකු සසුන්ගත කළ බව ඇමතිවරයා බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

කුලදරුවන් දහසක් සසුන්ගත කිරීමේ වැඩසටහන ඉදිරි දින කිහිපය තුළ ප්‍රදේශ ගණනාවක දී ක්‍රියාත්මක වනු ඇති බව කී ඇමතිවරයා විසින් එම වැඩසටහන හඳුන්වනු ලැබුවේ "බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කරන මහඟු යුතුකමක්" ලෙසය.

ශ්‍රී ලංකාව තුළ "අහස උසට වෙහෙරවිහාර, චෛත්‍ය නිර්මාණය වී තිබුණ ද" ශාසනය ඉදිරියට ගෙන යාම සඳහා කුලදරුවන් අත්‍යවශ්‍යවන බව පෙන්වා දුන් ඇමතිවරයා ඒ අනුව මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළ බව සඳහන් කළේය.



මේ අතර මැයි 12 සිට 14 වෙනිදා දක්වා කොළඹ සහ මහනුවර දී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුමට සියලු කටයුතු සුදානම් බව කී අමාත්‍යවරයා ඒ සඳහා රටවල් 82ක නියෝජිතයන් සහභාගී වීමට නියමිත බව පැවසීය.

රටවල් දහයක් නියෝජනය කරමින්

Image copyright Getty Images

ජාත්‍යන්තර වෙසක් දින සමාරම්භක උළෙල සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහභාගි වීමට නියමිතය.

මැයි 14 වෙනිදා පවත්වනු ලබන සමාප්ති උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් නේපාලයේ ජනාධිපතිනිය බින්ද්‍යා දේවි බන්ධාරි සහභාගී වීමට නියමිතව ඇත.

වෙසක් දින සැමරුමට සමගාමීව පැවැත්වෙන දියවන්නා වෙසක් කලාපය මැයි 10 වෙනිදා සිට 14 වෙනිදා දක්වා දියත උද්‍යානය, පාර්ලිමේන්තු සංකීර්ණය අවට, ජපන් මිත‍්‍රත්ව පාර සහ දියවන්නා ඔය ආශි‍්‍රතව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එහිදී ආසියානු රටවල් 10 ක බෞද්ධ සම්ප‍්‍රදායන් පිළිබිඹු කරමින් කෙරෙන ප්‍රදර්ශනයක් පැවැත්වීමට ද නියමිතය.

ඉන්දියාව, පාකිස්තානය, චීනය, තායිලන්තය, ජපානය, සිංගප්පූරුව, මියන්මාරය එම රටවල් අතර වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්