ගීතා කුමාරසිංහ තීන්දුවෙන් පසු පක්ෂ ලැයිස්තු වලංගුද?

ගීතා කුමාරසිංහ Image copyright Geetha kumarasinghe/FB

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් ලැයිස්තුවෙන් පසුගිය මහ මැතිවරණයට තරග වැදුණු ජනප්‍රිය නිලි ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු තැනැත්තියක් බව අභියාචනාධිකරණය පසුගිය සතියේ තීන්දු කළේය.

ඇය ශ්‍රී ලංකාවේ මෙන්ම ස්විට්සර්ලන්තයේද පුරවැසි භාවය හිමි තැනැත්තියක් වීම අධිකරණයේ එම තීන්දුව හේතුවයි.

පසුගිය වර්ෂයේ සම්මත කෙරුණු 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර ද්විත්ව පුරවැසිභාවය හිමි තැනැත්තෙකුට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකිය.

අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.

සබැඳි යොමු:

කිසියම් ලෙසකින් ශ්‍රේෂ්ඨාධිකරණයත් අභියාචනාධිකරණයේ තීන්දුව අනුමත කළහොත්, ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය ඉදිරිපත් වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් ලැයිස්තුව නීතිය ඉදිරියේ වලංගුද?

බීබීසී සිංහල සේවය එම ප්‍රශ්නය නීතිවේදීන් කිහිප දෙනෙකු වෙත යොමු කළේය.

'බලපෑමක් නෑ'

"ලැයිස්තුවේ එක අපේක්ෂකයෙක් නුසුදුස්සෙක් වීම හෝ යම් ආකාරයකින් ඔහුගේ මන්ත්‍රී ධුරය අවලංගුවීම මත මුළු ලැයිස්තුවට ඒකෙ බලපෑමක් වෙන්නේ නෑ," යන්න එම ප්‍රශ්නයට ජ්‍යෙෂ්ඨ නීතිවේදී ලාල් විජේනායක ලබා දුන් පිළිතුරය.

Image copyright defence.lk
Image caption කිසියම් ලෙසකින් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක දෙකේ අපේක්ෂක ලැයිස්තු අවලංගු වුවහොත් පාර්ලිමේන්තුවේ බල තුලනයේ ප්‍රබල වෙනසක් සිදු විය හැකිය

"මොකද එහෙම කරොත් වරදක් නොකරපු බොහෝ දෙනෙකුට දඬුවම් විඳින්න සිද්ද වෙනව එක්කෙනෙක් නිසා."

එක් පුද්ගලයකු කළ වරදක් හේතුවෙන් සමස්ත අපේක්ෂක ලැයිස්තුවම අවලංගු කිරීම ඡන්දදායකයාගේ අයිතිය උල්ලංඝණය කිරීමක් වන බවත් නීතිඥ ලාල් විජේනායකගේ අදහසය.

කෙසේ නමුත් 'රයිට්ස් නව්' සංවිධානයේ නීතිඥ සුදර්ශන ගුණවර්ධන පවසන්නේ අදාළ තීන්දුවෙන් අනතුරුව මන්ත්‍රීවරිය තේරී පත් වූ අපේක්ෂක ලැයිස්තුවේ නීත්‍යානුකූලභාවය පිළිබඳව ප්‍රධාන මත දෙකක් පළවෙමින් පවතින බවයි.

'පූර්වාදර්ශ නෑ'

"සමානුපාතික ක්‍රමය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තට පස්සේ, ඉතාම විරලයි මෙවැනි අවස්ථා. ඒ නිසා පූර්වාදර්ශයක් නැහැ මෙවැනි මන්ත්‍රී ධුරයක් අහිමිවීම සම්බන්ධව," ඔහු පැවසීය.

එබැවින් මෙවැනි "විවෘත ගැටලුවක්" පිළිබඳව අවසාන වශයෙන් තීරණයක් ගත යුත්තේ අධිකරණය විසින් බවද නීතිඥ සුදර්ශන ගුණවර්ධන සඳහන් කළේය.

Image copyright Getty Images
Image caption පුරප්පාඩුවට හිටපු අමාත්‍ය පියසේන ගමගේ පත්කරන මෙන් උපදෙස් දෙනවා - අමාත්‍ය මහින්ද අමරවීර

අපේක්ෂකයෙකුගේ අයදුම් පත්‍රයේ නීත්‍යානුකූලභාවය පිළිබඳව ගැටළු මතුවීම හේතුවෙන් පක්ෂයේ සම්පූර්ණ අපේක්ෂක ලැයිස්තුවම ප්‍රතික්ෂේප කෙරුණු අවස්ථා පිළිබඳව මීට ඉහතදී උදාහරණ පවතී.

2006 දී කොළඹ මහ නගර සභාව සඳහා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ ලැයිස්තුවේ එක් අපේක්ෂකයකුගේ වයස සම්බන්ධයෙන් මතුකෙරුණු විරෝධතාවක් හේතුවෙන් සම්පූර්ණ ලැයිස්තුවම ප්‍රතික්ෂේප කෙරිණ.

එබැවින් එම මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායමකට සහාය දීමට එක්සත් ජාතික පක්ෂයට සිදුවිය.

එහෙත් ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය සම්බන්ධ අධිකරණ විභාගය සහ කොළඹ මහ නගර සභාවේ අපේක්ෂක ලැයිස්තුව අහෝසිවීම එකිනෙකට සම්බන්ධ කළ නොහැකි බව ලාල් විජේනායක සහ සුදර්ශන ගුණවර්ධන නීතිවේදීන් දෙදෙනාම පවසති.

මාතර ලැයිස්තුව

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලැයිස්තුවෙන් මාතර දිස්ත්‍රික්කයට තරග වැදුණු මනෝජ් ප්‍රසංග හේවාගම්පලගේ ද ද්විත්ව පුරවැසියකු බැවින් එම අපේක්ෂක ලැයිස්තුවත් අවලංගු කළ යුතු බවට 2015 අගෝස්තු මහ මැතිවරණයේදී විරෝධතා ඉදිරිපත් කෙරිණ.

මාතර දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරියා එම විරෝධතාවද ප්‍රතික්ෂේප කළේය.

අභියාචනාධිකරණයේ තීන්දුවෙන් අනතුරුව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක ලැයිස්තු දෙකම නීතිය හමුවේ වලංගු නොවන බව කිසියම් ලෙසකින් අධිකරණය තීන්දු කළහොත් වත්මන් පාර්ලිමේන්තුවේ බල තුලනයේ ප්‍රබල වෙනසක් සිදු වනු ඇති බව Economy Next වෙබ් අඩවිය මේ අතර පෙන්වා දෙයි.

එසේ වුවහොත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 11 ක් අහිමිවනු ඇති අතර, එම මන්ත්‍රී ධූර එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර බෙදී යා හැකි බවද වෙබ් අඩවිය වැඩිදුරටත් පවසයි.

ශ්‍රීලනිප මතය

ගීතා කුමාරසිංහගේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා සිය ලැයිස්තුවෙ ඊළඟට සිටින හිටපු අමාත්‍ය පියසේන ගමගේ පත්කරන මෙන් මැතිවරණ කොමිසමට උපදෙස් දෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර අමාත්‍යවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.

මන්ත්‍රීවරිය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බැවින් එහි තීන්දුව ලැබෙන තුරු නව පත්කිරීමක් කළ හැකිදැයි විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා කියා සිටියේ අධිකරණය එවැනි තහනම් නියෝගයක් නිකුත්කර නොමැති බවය.

මන්ත්‍රීවරියගේ මන්ත්‍රී ධුරය අවලංගු වන්නේ නම් සන්ධානයේ සම්පූර්ණ අපේක්ෂක ලැයිස්තුවම අවලංගු විය නොහැකි දැයි විමසූ අවස්ථාවේ අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය වූයේ එයද අධිකරණයට භාර කටයුත්තක් බවය.