කැබිනට් ප්‍රකාශකවරු තුන් දෙනෙක්?

කැබිනට් මණ්ඩලය Image copyright Getty Images/ISHARA S.KODIKARA

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක හැරුණු කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තවත් කැබිනට් අමාත්‍යවරයකු මීළඟ කැබිනට් මාධ්‍ය හමුවට එක්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි.

එම අමාත්‍යවරයා කවුරුන් දැයි සාකච්ඡා කර නමක් යෝජනා කරන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන්ට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක අමාත්‍යවරයාට උපදෙස් දුන් බව සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර අමාත්‍යවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.

ජනාධිපතිවරයා ඔවුන්ට එම උපදෙස් ලබා දී තිබෙන්නේ අඟහරුවාදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීය.

සබැඳි යොමු:

රාජිත සේනාරත්න ඇමතිවරයා කැබිනට් ප්‍රකාශක පදවියෙන් ඉවත් කරන මෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් පිරිසක් මීට ඉහතදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් එවැනි තීරණයක් ගෙන තිබෙන්නේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට යළිත් හමුදාපති පදවිය හෝ එවැනි ඉහල තනතුරක් භාරගන්නා මෙන් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩල සාකච්ඡාවක දී ප්‍රකාශ කරන ලද බවට රාජිත සේනාරත්න ඇමතිවරයා කැබිනට් මාධ්‍ය හමුවක දී සඳහන් කිරීම මුල්කර ගනිමින් ඔහු සහ ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයා ඇතුළු පිරිසක් අතර හටගත් විවාදයෙන් අනතුරුවය.

Image copyright getty Images/ISHARA S.KODIKARA

"ජනාධිපතිතුමා 'කොලොප්පමට' කළ ප්‍රකාශයක් රාජිත සේනාරත්න ඇමතිවරයා කැබිනට් තීන්දුවක් ලෙස කැබිනට් මාධ්‍ය හමුවකදී ප්‍රකාශයට පත්කළා," යනුවෙන් ඒ පිළිබඳව ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයා සඳුදා බීබීසී සිංහල සේවයට පැහැදිලි කළේය.

"රාජිත සේනාරත්න ඇමතිවරයා ඉන් පෙරත් එවැනි දේ කැබිනට් මාධ්‍ය හමුවලදී කියල තියෙනව. කැබිනට් තීන්දු තීරණ නොවෙයි, ඔහු කියන්නේ ඔහුගේ පෞද්ගලික අදහස්," සෙනෙවිරත්න ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

එහෙත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා දිගටම සම කැබිනට් ප්‍රකාශකවරයකු වශයෙන් කටයුතු කරනු ඇති බව සඳහන් කළ ධීවර අමාත්‍ය මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නව කැබිනට් ප්‍රකාශකවරයා තමන් හෝ දුමින්ද දිසානායක ඇමතිවරයා නොවන බව අවධාරණය කළේය.