නඩු විභාග කඩිනම් කිරීමට තවත් විනිසුරුවරු

අධිකරණය

මේ වනවිට ඉහල අධිකරණවල ගොඩ ගැසී තිබෙන නඩු විභාග කිරීම කඩිනම් කිරීමේ අරමුණින් දැනට සිටින මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩිකිරීමේ යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

මේ වසරේ මාර්තු මාසය වනවිට නඩු 28,000 කට ආසන්න ප්‍රමාණයක් විභාග කිරීම පිණිස ඉහල අධිකරණවල සේවය කරන්නේ මහාධිකරණ විනිසුරුවරුන් 75 දෙනෙකු පමණක් බැවින් විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව 85 දක්වා වැඩිකිරීමට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා සිටියේය.

ඒ සඳහා අවස්ථාව සලසමින් අදාළ පනත සංශෝධනය කරන මෙන් නීති කෙටුම්පත් සම්පාදකයන්ට උපදෙස් දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් තීරණ දැනුම්දෙමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

සබැඳි යොමු:

මේ වන විට සිවිල් අධිකරණවල නඩු 5749 ක්, ඉහල වාණිජ අධිකරණවල නඩු 5580 ක් සහ අනෙක් ඉහල අධිකරණවල නඩු 16574 ක් විභාග කෙරෙමින් පවතින බව අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයේ සඳහන්ය.

පෞද්ගලික සේවයේ නිරතව සිටි ආර් කන්නන් රාමනාදන් නීතිඥවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පසුගියදා යාපනයේ මහාධිකරණ විනිසුරු පදවියට පත්කිරීම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම්වරයා සහ විනිසුරුවරුන්ගේ සංගමය දැඩි විරෝධයක් පළ කළේය.

එම විරෝධය හේතුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය ද කල් දැමීමට නීතිඥ සංගමයට සිදු විය.

එහෙත් එම පත්කිරීම මගින් ශ්‍රී ලංකා විනිසුරුවරුන් පත්කිරීමේ ක්‍රියාපිළිවෙත උල්ලංඝනය වී නොමැති බව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිවේදීන්ගේ සංගමයේ සම කැඳවුම්කරු ජ්‍යෙෂ්ඨ නීතිවේදී ලාල් විජේනායක, කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන් පත්කිරීමේ දැනට පවතින ක්‍රියාදාමය දැනට වඩා විධිමත් විය යුතු බවත් අවධාරණය කළේය.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර