ගීතාගේ මන්ත්‍රී පදවිය;අවසන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය අතේ

Image copyright Geetha kumarasinghe
Image caption ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී පදවිය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව තීරණය වෙයි

ද්විත්ව පුරවැසිභාවය දරන හෙයින් ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියක් දැරීමට නුසුදුසු යයි ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා අභියාචනාධිකරණය පසුගියදා දුන් තීන්දුව අනුව කටයුතු කිරීම ලබන සඳුදා ( 15 )තෙක් වළක්වා ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබ ඇත.

මේ අනුව ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී පදවියේ අනාගතය තීන්දු කරනු ලැබීම ලබන සඳුදා(මැයි 15)තෙක් කල් යයි.

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉහත කී තහනම් නියෝගය නිකුත් කළේ සිය මන්ත්‍රී පදවිය අහෝසි කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවක් අභියෝගයට ලක් කරමින් ගීතා කුමාරසිංහ විසින් ඉදිරිපත් කරන ලද අභියාචනා පෙත්සමක් සලකා බැලීමෙන් පසුවයි.

පෙත්සම්කාර ගීතා කුමාරසිංහ වෙනුවෙන් පෙනී සිටින නීතිවේදියා අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් 'සිය සේවාදායිකාවගේ මන්ත්‍රීධූරය අහෝසි කර ඇති බවක් පාර්ලිමේන්තු මහලේකම්වරයා ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර ඇති අතර, පුරප්පාඩු වී ඇති අදාළ මන්ත්‍රී පදවිය සඳහා වෙනත් අයකු පත් කරනු ලැබුනොත් එමගින් සිය සේවාදායිකාවට අගතියක් සිදුවන බැවින් එවැනි පත්කිරීමක් සිදු කරනු ලැබීම වළක්වාලීමේ තහනම් නියෝගයක් නිකුත් කරන මෙන්' ඉල්ලා සිටියේය.

ගීතා කුමාරසිංහ විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමේ වග උත්තරකරුවන් වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර ඇමතිවරයා සහ ගීතා කුමාරසිංහට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පළමු නඩුව ගොණු කළ ගාල්ල දිස්ත්‍රික් ඡන්දදායකයින් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා 'මෙම නඩුවට අදාළ කිසිදු ලේඛනයක් තමන් වෙත ලැබී නොමැති අතර එවැනි වාතාවරණයක් යටතේ මෙම නඩුව සලකා බැලීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බව කියා සිටිමින් නිසි කරුණු විමසීමකින් තොරව තහනම් නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට හැකියාවක් නොමැති' බව පෙන්වා දුන්හ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ගීතා කුමාරසිංහ විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම සලකා බැලීම ලබන සඳුදා තෙක් කල් තැබීය.

එතෙක් ගීතා කුමාරසිංහ මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු බවට දුන් අභියාචනාධිකරණ තීන්දුව අත්හිටවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන තෙක් අදාළ මන්ත්‍රී පදවිය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම මැතිවරණ කොමිසම විසින් ද කල් තබනු ලැබ ඇති බව වාර්තා වෙයි.