වෛද්‍ය සභා බෝම්බ ප්‍රහාරය ගැන පොලිස් පරීක්ෂණ

Image copyright Google

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කාර්යාලය ඉලක්ක කර ගනිමින් එල්ල කෙරුණ අත්බෝම්බ ප්‍රහාරයක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කරනු ලැබ ඇත.

සිකුරාදා (මැයි 12) රාත්‍රියේ එම ප්‍රහාරය එල්ල කර ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසයි.

ප්‍රහාරය සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමක දී ප්‍රහාරයේ තොරතුරු විස්තර කළ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජික වෛද්‍ය උපුල් ගුණසේකර රාත්‍රියේ එල්ල කරන ලද පුපුරා නොගිය අත්බෝම්බය පසුදින පාන්දර සොයා ගත්බව ප්‍රකාශ කළේය.

"සිකුරාදා රාත්‍රී එකොළහ හමාරට පමණ එල්ල වූ ප්‍රහාරය පිළිබඳ තොරතුරු අපි CCTV කැමරා මගින් දැක්කා. ගල් ප්‍රහාරයක් වැනි ශබ්දයක් ඇසීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියා පැමිණ පිරික්සන ආකාරය කැමරාවේ සටහන් වී තිබෙනවා. නමුත් ඔහු රාත්‍රියේ කිසිවක් දැක නැහැ. නමුත් ඔහු අද (13) උදේ බලන විට පින් එක ගැලවූ ජීව අත්බෝම්බයක් එහි දැක පොලිසියට දැනුම් දී තිබෙනවා" වෛද්‍ය උපුල් ගුණසේකර පවසයි.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් දැනුවත් කර ඇති අතර ඒ සමඟ බෝම්බ නිෂ්ක්‍රීය පොලිස් බලකාය පැමිණ බෝම්බය නිෂ්ක්‍රීය කර දැමූ බව වෛද්‍යවරයා සඳහන් කළේය.

'පළමු වතාව නොවෙයි'

එම බෝම්බය මීටර් පනහක පමණ වපසරියක් ඇතුළත විනාශයක් සිදුකළ හැකි මට්ටමේ බලයක් සහිත අවියක් වූ බව පොලිසිය ප්‍රකාශ කළ බවත් වෛද්‍ය උපුල් ගුණසේකර පවසයි.

"මේ ගොඩනැගිල්ල තුළ විසිපන්දහසක් පමණ වෛද්‍යවරුන්ගේ තොරතුරු ඇතුළත් ලේඛන තියෙනව. ඊට අමතරව දේශීය සහ විදේශීය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල තොරතුරුත් එහි තියෙනවා" වෛද්‍යවරයා වැඩිදුරටත් විස්තර කළේය.

වෛද්‍ය සභාව ඉලක්ක කර ගනිමින් මින් පෙරත් මෙවැනි ප්‍රහාර එල්ල කරනු ලැබ ඇති නමුත් එම ප්‍රහාර සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ සිදු නොවූ බවත් වෛද්‍ය උපුල් ගුණසේකර සිහිපත් කරයි.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් යම්කිසි පාර්ශ්වයක් කෙරෙහි සැකයක් එල්ල වී තිබේදැයි බීබීසිය විමසීමක් කළවිට ඊට පිළිතුරු දුන් වෛද්‍ය උපුල් ගුණසේකර, දැනට පොලිස් පරීක්ෂණ පැවැත්වෙන අතර මේ මොහොතේ ඒ සම්බන්ධයෙන් කිසිවක් කිව නොහැකි බව සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්