'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද?

  • 2017 මැයි 13
'එකම තීරයක් - එකම මාවතක්'

චීනයේ 'එකම තීරයක් - එකම මාවතක්' දෙදින සමුළුව බේජිං නුවරදී හෙට (මැයි 14) ආරම්භ වීමට නියමිතය.

රුසියාවේ නායක ව්ලැදිමීර් පුතින්, පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ්, මියන්මාරයේ නිල නොලත් නායිකා අවුන් සාන් සුචී ඇතුළු ලෝක නායකයෝ ඊට සහභාගී වෙති.

ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ ද එම සමුළුවට සහභාගී වීම සඳහා දැනටමත් බේජිං නගරයට ළඟා වී සිටී.

රටවල් විසි අටක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් 'එකම තීරයක් - එකම මාවතක්' සමුළුවට සහභාගී වන බව බේජිං පාලනය පවසයි.



ජර්මන් චාන්සලර්වරිය ඇන්ගෙලා මර්කල් ඒ සඳහා කළ ආරාධනය පිළිගෙන නොමැති අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඊට සහභාගී නොවන බව වාර්තා වෙයි.

G7 නායකයන් අතරින් සමුළුව සඳහා සහභාගී වන බව තහවුරු කර ඇත්තේ ඉතාලියේ අගමැති පාවුලෝ ජෙන්ටිලෝනි පමණි.

'එකම තීරයක් - එකම මාවතක්' සමුළුව සඳහා ඉන්දියාව සහභාගී නොවේ.

නවීන සේද මාවත?

Image copyright Getty Images

'එකම තීරයක් - එකම මාවතක්' යනු චීන දේශසීමා සහ යුරෝපය හරහා වැටී තිබූ ඓතිහාසික සේද මාවත යළි පණ ගැන්වීමේ උත්සාහයක් ලෙස හැඳින්විය හැක.

එම සංකල්පය මුලින්ම ප්‍රකාශයට පත් කරන ලද්දේ චීන ජනාධිපති ෂී ජින්පින් විසිනි.

2013 වසරේ ප්‍රකාශයට පත් වූ 'එකම තීරයක් - එකම මාවතක්' සංකල්පයට අනුව චීනය ගොඩබිම් සහ මුහුදු මාර්ග ඔස්සේ ආසියාව, යුරෝපය සහ අප්‍රිකානු රටවල් සමග සම්බන්ධ වනු ඇත.

'එකම තීරයක් - එකම මාවතක්' ව්‍යාපෘතිය යටතේ නව වරායන්, තෙල් සැපයුම් නල මාර්ග සහ දුම්රිය මාර්ග ඉදි කෙරෙමින් පවතී.

ඒ ඔස්සේ චීනයට ලොව සෙසු රටවල් සමග ගනුදෙනු කිරීමටත් ලොව සෙසු රටවලට චීනය සමග ගනුදෙනු කිරීමටත් හැකි වනු ඇත.

ලෝක ආර්ථික සමුළුව පවසන පරිදි චීනය විදෙස් රටවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ආයෝජනය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයකි.

භූදේශපාලනය බලපෑම

Image copyright AFP

'එකම තීරයක් - එකම මාවතක්' වැඩසටහනට රටවල් හැටකට අධික සංඛ්‍යාවක් සම්බන්ධ වෙයි.

චීනයේ ආර්ථික වර්ධන වේගය අඩුවෙමින් පවතින අතර ඔවුන්ගේ වෙළඳපොළ රටින් ඔබ්බට පුළුල් කිරීම 'එකම තීරයක් - එකම මාවතක්' වැඩසටහනේ අරමුණ වී තිබේ.

කෙසේ නමුත් එම වැඩසටහන චීනයේ භූදේශපාලන බලපෑම ව්‍යාප්ත කිරීමේ උත්සාහයක්දැයි ඇතැමෙකුට ප්‍රශ්න කළ හැක.

ශ්‍රී ලංකාවේ වරාය ව්‍යාපෘතිය ඇතුළුව පාකිස්තානය, ඉන්දුනීසියාව සහ කාම්බෝජය වැනි කලාපීය රටවල් තුළ චීනය විසින් මහා පරිමාණ ව්‍යාපෘති දියත් කොට තිබේ.

Image copyright Getty Images
Image caption ශ්‍රී ලංකාවේ වරාය නගර ව්‍යාපෘතිය

'එකම තීරයක් - එකම මාවතක්' වැඩසටහනට සම්බන්ධ රටවල් සමග 2014 සිට 2016 වසර දක්වා චීනය සිදු කළ දළ වෙළඳ ගනුදෙනුවල වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.9 කට ළඟා වී ඇති බව චීනයේ වාණිජ කටයුතු භාර නියෝජ්‍ය ඇමති ජියාන් කෙමින් පවසයි.

එම ව්‍යාපෘතියට සම්බන්ධ රටවල් තුළ ආයෝජනය කිරීම සඳහා සිය සමාගම් දිරිමත් කරන අතරම එම රටවල සේවා පහසුකම් ඉහළ නැංවීම සහතික කිරීමට චීනය නිරන්තරයෙන් කැපවන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටී.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්