අරසකේනි කච්චාරු ප්‍රහාරය සම්බන්ධයෙන් සෝදිසි මෙහෙයුමක්

Image caption පොලිස් සෝදිසි කිරීමක්(සංරක්‍ෂිත ඡායාරූපයකි)

කිලිනොච්චිය පලෙයි අරසකේනි කච්චාරු ප්‍රදේශයේදී අද (මැයි 19) අළුයම පොලිස් ජංගම මුරසේවා රථයකට එල්ල කෙරුණ වෙඩිතැබීම සම්බන්ධයෙන් සෝදිසි මෙහෙයුම් පෙරට යමින් ඇතිබව පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පවසයි.

බීබීසී සිංහල සේවය කළ විමසීමක දී අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසියේ සහ යුදහමුදාවේ ඒකාබද්ධ මෙහෙයුමක් පෙරට යමින් ඇති බව සඳහන් කළේය.

කැලයේ සැගවී සිට වෙඩි තැබූ පුද්ගලයා හෝ පුද්ගලයන් පළාගොස් ඇති බවත් ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

ප්‍රහාරයේ දී නිලධාරීන්ට හානි සිදු වී නොමැති අතර සොයාගනු ලැබුණ උණ්ඩ අනුව ඒ සඳහා යොදාගත් අවිය T-56 ගිණි අවියක් විය හැකි බවත් පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි බීබීසියට කියා සිටියේය.

මෙම වෙඩි තැබීම සිදු කෙරුණේ ආණ්ඩුවේ රණවිරු සමරු වැඩසටහන ආරම්භ කිරීමට පැය කීපයක් තිබියදීය.

පොලිසිය ප්‍රකාශ කරන පරිදි පොලිස් මෝටර් රථය මධ්‍යම රාත්‍රියෙහි රාජකාරි කටයුක්තකට යමින් සිටිය දී කැලෑවෙහි සැඟවී සිට වෙඩිතැබීම සිදුකර ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර