"සංහිඳියාව ගොඩ නැගීමට ආණ්ඩුවත් කලාවත් දෙකම අසමත්"

ශ්‍රී ලංකා යුද්ධය Image copyright Getty Images

ශ්‍රී ලංකාවේ තිස් වසරකට ආසන්න කාලයක් පැවති සිවිල් යුද්ධය නිම වී වසර අටක් ගතව ඇත.

ආණ්ඩුවේ හමුදා විසින් ආණ්ඩු විරෝධී දෙමළ සන්නද්ධ ව්‍යාපාරය යුදමය වශයෙන් පරාජයට පත් කරනු ලැබුවේ 2009 වසරේ මැයි 18 වෙනිදාය.

යුද්ධයේ අවසාන අදියරට පෙර වසර විසි පහකට අධික කාලයක් පැවති ගැටුම්වලින් හැත්තෑ දහසකට ආසන්න පිරිසක් මරණයට පත්ව ඇතැයි ඇස්තමේන්තු කෙරේ.

නමුත් ශ්‍රී ලංකා යුද හමුදාව සහ කොටි සංවිධානය අතර පැවති අවසන් ගැටුමේ දී ජීවිත අහිමි වූ හෝ අතුරුදහන් වූ පුද්ගල සංඛ්‍යාව තවමත් නිශ්චිතව ප්‍රකාශයට පත් වී නැත.



ශ්‍රී ලංකා ආණ්ඩුවේ හමුදා සහ එල්ටීටීඊ සංවිධානය යන දෙපාර්ශවය විසින්ම යුද අපරාධ සිදු කර ඇති බවට චෝදනා එල්ල වේ.

ශ්‍රී ලංකා ආණ්ඩුව තමන්ට එරෙහි එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

මේ අතර සංහිඳියා යාන්ත්‍රණය ඉදිරියට ගෙන යාම සඳහා ආණ්ඩුව විසින් දරනු ලබන උත්සාහය ප්‍රමාණවත් නොවන බව ඇතැම් විවේචකයෝ පෙන්වා දෙති.

සංහිඳියා යාන්ත්‍රණය

Image copyright Getty Images

ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුවේ නායකයන් බලයට පත්වීමට පෙර ජනතාව හමුවේ දුන් පොරොන්දු ඉටුකිරීමට අපොහොසත් වී ඇති බව ගැටුම් අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය (International Crisis Group - ICG) පසුගියදා නිකුත් කරන ලද වාර්තාවක දැක්වෙයි.

"ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාමය සහ වාර්ගික පදනම මත සහයෝගය වර්ධනය කිරීමේ දුර්වල අපේක්ෂා පවා අනතුරුදායක තත්වයක පවතී," යනුවෙන් එම වාර්තාවේ සඳහන් වෙයි.

ලාංකික ළමා පරපුර සහ තරුණ ප්‍රජාව අතර සංහිඳියාව ගොඩ නැගීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන තිබේද? මෙය බොහෝදෙනා මතු කරන ප්‍රශ්නයකි.

ලොව ගැටුම් පැවති බොහෝ රටවල සංහිඳියාව සහ අන්තර් සංස්කෘතික සබඳතා වර්ධනය කිරීම සඳහා යොදා ගත් එක් මාධ්‍යයක් වන්නේ කලාවයි.

ශ්‍රී ලංකාව ගත්විට ඒ සඳහා ප්‍රමාණවත් කලා නිර්මාණ බිහි වී තිබේද ? ප්‍රශ්නයකි.

සංහිඳියා වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට කලාව තුළින් ඉහළ දායකත්වයක් ලබා දිය හැකි බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ මැයි 19 වෙනිදා විද්වතුන් සහ කලාකරුවන් සමග පැවති සාකච්ඡාවක් අමතමිනි.

කලා නිර්මාණ

Image copyright ISHARA S. KODIKARA

ජාතික සමගිය සහ ජාතීන් අතර අවබෝධය ගොඩ නැගිය හැකි නිර්මාණ බිහි වීමේ වැදගත්කම ජනාධිපතිවරයා එම හමුවේ දී පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මහාචාර්ය සරත් විජේසූරිය, අශෝක හඳගම, ගාමිණී වියන්ගොඩ ඇතුළු විද්වතුන් සහ කලාකරුවන් පිරිසක් ජනාධිපතිවරයා සමහ පැවති සාකච්ඡාවට එක් වී සිටියහ.

යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ ළමා සහ තරුණ පරපුර අතර සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා කලාවෙන් ප්‍රමාණවත් දායකත්වයක් ලැබී ඇත්දැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩගෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමේ දී ඔහු කියා සිටියේ කලාවෙන් ඒ සඳහා ප්‍රමාණවත් දායකත්වයක් තවමත් ලැබී නොමැති බවය.

"සාමාන්‍යයෙන් විවිධ රටවල විශාල විනාශයන් සිදු වුනාට පසු ඒ විනාශය කලාව තුළින් අපට දැක ගත හැකි ආකාරයේ ලෝකප්‍රකට කලා කෘති බිහි වී තිබෙනවා."

කෙසේ නමුත් එවැනි කලා කෘති බිහි වීමට රජයේ මැදිහත්වීමක් අවශ්‍ය නොවන බවත් ඔහු පෙන්වා දෙයි.

යුද්ධය සහ සාමය

Image copyright Getty Images

"උදාහරණයක් විදිහට රුසියානු සාහිත්‍යයේ ලියෝ තොල්ස්තෝයිගේ යුද්ධය සහ සාමය. ඒ වගේ මහා ශ්‍රේෂ්ඨ කෘති බිහි වෙලා තියෙන්නේ රජයේ මැදිහත්වීමකින් නොවෙයි. එවැනි නිර්මාණ බිහි කරන්න කලාකරුවන්ටම ආවේශයක් එනවා"

රජයේ මැදිහත් වීමට වඩා ශ්‍රී ලංකාවේ කලාකරුවන් තුළින්ම එම ආවේශය ඇති විය යුතු බව කී මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩ "විනාශය පිළිබඳ කොහොමද කලාකරුවෙක් සංවේදී වන්නේ? තමන්ගේ නිර්මාණකරණය තුළ ඒ විනාශය නිරූපනය කරන්නේ කොහොමද? කියන ගැඹුරු අනුභූතීන් කලාකරුවන් තුළම ඇති විය යුතු"යයි පවසයි.

එවැනි තත්වයක් ඇති නොවන තාක් සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා රජයේ මැදිහත් වීමකින් කළ හැකි කිසිවක් නොමැති බව ඔහු සඳහන් කළේය.

පොදුවේ රට තුළ සංහිඳියාව ඉහළ නැංවීම සඳහා වත්මන් ආණ්ඩුව විවිධ අංශ තුළ ක්‍රියාමාර්ග ගෙන ඇතත් එය ප්‍රමාණවත් යැයි තමන් විශ්වාස නොකරන බවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩ වැඩිදුරටත් පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්