කැබිනට් අමාත්‍ය ධුර 47 දක්වා ඉහළට

  • 2017 මැයි 22
නව ඇමතිවරු Image copyright News.lk
Image caption මුදල්, විදේශ, ජනමාධ්‍ය, වරාය, ඉඩම් සහ ඛනිජ තෙල් අමාත්‍යාංශවල වෙනසක්; තිලක් මාරපනට අලුත් අමාත්‍යාංශයක් සහ අලුත් රාජ්‍ය අමාත්‍යවරයෙක්

නව කැබිනට් මණ්ඩල සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍යාංශ 09 ක් සහ එක් රාජ්‍ය අමාත්‍යාංශයක් සඳහා නව අමාත්‍යවරු සඳුදා (මැයි 22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්හ.

බලාපොරොත්තු වූ පරිදි මුදල්, විදේශ හා වරාය යන ප්‍රධාන අමාත්‍යාංශවල වෙනස්කම් සිදු වූ අතර තවත් අමාත්‍යවරුන් පිරිසකට දැනට ලබා දී තිබෙන විෂයයන්ට අමතරව තවත් විෂයයන් එක් කර තිබේ.

නව අමාත්‍යවරයෙක් ලෙස කැබිනට් මණ්ඩලයට එක්වන්නේ හිටපු අමාත්‍යවරයෙකු වන තිලක් මාරපන පමණි. මින් පෙර නීතිය හා සාමය අමාත්‍ය පදවිය දැරූ ඔහු එම තනතුරින් ඉල්ලා අස්වූයේ ඇවන්ගාඩ් සමාගමට සහාය පළකර පාර්ලිමේන්තුවේ අදහස් දැක් වූ බවට චෝදනා එල්ලවීමත් සමගය.

අලුත් අමාත්‍යාංශයක්

නීතිඥ තිලක් මාරපන යළිත් කැබිනට් මණ්ඩලයට එක්වීමත් සමග සම්පූර්ණ කැබිනට් මණ්ඩලය 47 දක්වා ඉහළ යන අතර ඔහුට හිමිව තිබෙන්නේ සංවර්ධන කාර්යයන් පිළිබඳ අමාත්‍යාංශය නම් නව අමාත්‍යංශයකි.

19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ප්‍රධාන පක්ෂ දෙක එක්ව ආණ්ඩු කිරීමේදී ජනාධිපතිවරයා හා අගමැති ඇතුළුව සම්පූර්ණ කැබිනට් මණ්ඩලය 48 දෙනෙකුට නොවැඩි විය යුතුය.

වෙනස් වූ අමාත්‍ය ධූර

  1. මංගල සමරවීර - මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය
  2. එස්.බී. දිසානායක - සමාජ සවිබල ගැන්වීම් සුබසාධන සහ කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍ය
  3. ඩබ්.ඞී.ජේ. සෙනෙවිරත්න - වෘත්තීය සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්‍ය
  4. රවී කරුණානායක - විදේශ කටයුතු අමාත්‍ය
  5. මහින්ද සමරසිංහ - වරාය සහ නාවික කටයුතු අමාත්‍ය
  6. ගයන්ත කරුණාතිලක - ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය
  7. අර්ජුන රණතුංග - ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය
  8. චන්දිම වීරක්කොඩි - නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය
  9. තිලක් මාරපන - සංවර්ධන කාර්යයන් පිළිබඳ අමාත්‍ය

රාජ්‍ය අමාත්‍ය ධූර

  1. මහින්ද අමරවීර - මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය (පවතින ධීවර අමාත්‍ය ධූරය ද ඇතුළුව)
Image caption ඇවන්ගාඩ් සමාගම සම්බන්ධයෙන් හටගත් ආන්දෝලනය මත නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ තිලක් මාරපන මන්ත්‍රීවරයාට නව අමාත්‍ය ධුරයක්

නැවුම් බලාපොරොත්තුවකින් යුතුව රටක් ලෙස ඉදිරියට යාමට කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු කළ බව අමාත්‍ය මණ්ඩලය අමතමින් ප්‍රකාශ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රටේ අභිවෘද්ධිය සඳහා කැපවන්නැයි නව අමාත්‍යාංශ භාරගත් සියලු අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

මෙම විශේෂ කැබිනට් රැස්වීමට සහභාගි වූ අනෙක් අමාත්‍යවරුන් මාධ්‍ය වෙත අදහස් දැක්වුවත් ප්‍රධාන අමාත්‍ය ධූරයන් වෙනස් වූ මංගල සමරවීර, රවී කරුණානායක සහ අර්ජුන රණතුංග අමාත්‍යවරුන් මාධ්‍ය වෙත අදහස් නොදක්වාම ජනාධිපති කාර්යාලයෙන් පිටව ගියහ.