කැබිනට්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කැබිනට් වෙනස: "මේක රටේ අවශ්‍යතාවක්"

කැබිනට් අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු වූයේ රටේ අවශ්‍යතාව මත බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර පවසයි.

"මේක රටේ අවශ්‍යතාවක්. මාධ්‍යයෙනුත් ඉල්ලීමක් තිබුණා. අවුරුදු දෙක හමාරක් ගිය තැන සංශෝධනයක් කරන්න ඕනිනෙ. ඒක තමයි කළේ" යනුවෙන් ඔහු කියා සිටියේ සංශෝධනය කෙරුණු අමාත්‍ය ධුරවල දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මුදල් ඇමති ධුරයේ වෙනසක් සිදු විය යුතු බවට එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉල්ලා සිටියා නොවේ දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දෙමින් ඇමතිවරයා කියා සිටියේ එවැනි වෙනසක් සිදු විය යුතු බවට රටේ ඉල්ලීමක් පැවති බවය.

කැබිනට් මණ්ඩල සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍යාංශ නවයක් සහ එක් රාජ්‍ය අමාත්‍යාංශයක් සඳහා නව අමාත්‍යවරු අද (මැයි 22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්හ.

එහිදී අදහස් දැක්වූ අජිත් පී පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ සිදු වූ වෙනස්කම් සම්බන්ධයෙන් සතුටු විය හැකි බවය.

කැබිනට් මණ්ඩලයට අලුත් මුහුණු එක් නොකර ඇමතිවරුන් යටතේ පැවති අමාත්‍යංශ පමණක් වෙනස් කිරීම සම්බන්ධයෙන් කළ විමසීමේදී නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේ "පරණ වුනාට බඩු හොඳයි" යනුවෙනි.

කැබිනට් මණ්ඩලයට තරුණ ඇමතිවරු එක් නොකිරිම පිළිබඳ විමසූ අවස්ථාවේ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් තමන්ට අදහසක් ප්‍රකාශ කිරීමට නොහැකි බවය.

ජනමාධ්‍ය ඇමති ධුරයට වඩා වැඩි කාර්යභාරයක් ඉඩම් අමාත්‍යවරයා ලෙස ඉටු කළ හැකි බව හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක කියා සිටියේය.