"නීතිය කැඩුවොත් ජාතිය ආගම නොබලා කටයුතු කරන්න"

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
"නීතිය කැඩුවොත් ජාතිය ආගම නොබලා කටයුතු කරන්න"

ජාතිය,ආගම කුමක් වුවත් රටේ නීතිය උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිසියට උපදෙස් දී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

"නීතිය කැඩුවොත් පොලිසියේ යුතුකමක් තිබෙනවා වහාම ක්‍රියා කරන්න ඒ පුද්ගලයන්ට එරෙහිව. කොයි ආගමක, කොයි ජාතියකට අයත් වුනත් කමක් නැහැ" යනුවෙන් අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඔහු ඒ බව කියා සිටියේ ජාතික තරුණ සේවා සභාවේ සාර්ථකව ව්‍යාපෘති ක්‍රියාත්මක කළ තරුණ තරුණියන් ඇගයීම සඳහා අරලියගහ මන්දිරයේ අඟහරුවාදා (මැයි 23) පැවති උත්සවයක් අමතමිනි.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ නැවතත් යුද්ධයක් ඇති වීමට ඉඩ දිය නොහැකි බව කී අගමැතිවරයා රට තුළ සමගිය නොමැති විට සංවර්ධන ඉලක්ක කරා ළඟා විය නොහැකි බවත් සඳහන් කළේය.



ජන කොටස් අතර ආගම්වාදය සහ ජාතිවාදය ඇති කිරීමට යම් අයෙකු උත්සාහ කරන්නේ නම් එය වහා නවතා දැමිය යුතු බව අගමැතිවරයා පැවසීය.

ආගම මුල් කර ගනිමින් වෛරය පතුරවන ලෙස කිසිදු ආගමක සඳහන් නොවන බව කී අගමැතිවරයා "බුදු හාමුදුරුවෝ අපට කියා තිබෙනවා වසලයා කවුද බ්‍රාහ්මණයා කවුද කියලා" යනුවෙන් පැවසීය.

බෞද්ධ දර්ශනය

Image caption මුස්ලිම් පල්ලි සහ ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කරගනිමින් එල්ලවෙන ප්‍රහාර පසුගිය දිනවල උත්සන්න වී තිබෙන බව මුස්ලිම් ජනතාව පවසති

හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි වැනි වෙනත් ආගම් තුළත් එම ඉගැන්වීම එළෙසම තිබෙන බව පැවැසූ අගමැතිවරයා 1983 ශ්‍රී ලංකාවට පිටුපසින් සිටි රටවල් අද වන විට ඉදිරියට ගොස් සිටින බව කියා සිටියේය.

"ඉන්දුනීසියාව, තායිලන්තය, වියට්නාමය ආදී රටවල් සියල්ලම අප පසු කර ඉදිරියට ගිහින්. බංග්ලාදේශය අප ආසන්නයටම පැමිණ සිටිනවා. අපේ පිටුපසින් සිටින්නේ මියන්මාරය, ඇෆ්ගනිස්තානය, ලාඕසය, කාම්බෝජය යන රටවල් පමණයි" යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර මුස්ලිම් පල්ලි සහ ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කරගනිමින් එල්ලවෙන ප්‍රහාර පසුගිය දිනවල උත්සන්න වී තිබෙන බව මුස්ලිම් ජනතාව පවසති.

එම ක්‍රියා වත්මන් පාලනයට එරෙහිව මුස්ලිම් ජනතාව උසිගැන්වීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් බව ආණ්ඩුව පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර