සිරි ගුණසිංහ නිහඬ වෙයි

Image copyright nfc.gov.lk

මහාචාර්ය සිරි ගුණසිංහ කැනඩාවේ වේලාවෙන් අද (මැයි 25) උදෑසන අභාවප්‍රාප්ත වූ බව ප්‍රකාශයට පත් කෙරිණ.

කලක් කැනඩාවේ ජීවත් වූ සම්මානිත මහාචාර්යවරයා මියයන විට 97 වැනි වියේ පසුවිය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අංශයේ කථිකාචාර්යවරයකු හැටියට සිය ශාස්ත්‍රීය ජීවිතය ආරම්භ කළ ඔහු කලක් එහි සිංහල අංශයේද දේශකයකු විය.

සිය පළමු නවකතාව වූ 'හෙවනැල්ල' මගින් සමාජ සංවාදයක මාතෘකාවක් බවට පත් සිරි ගුණසිංහයෝ සිය පළමු නවකතාව ප්‍රකාශයට පත්කළ සැණින් ශ්‍රී ලංකාවේ මහා නවකතාකරුවන් කීපදෙනා අතර සිය නම රැඳවීමට සමත් වූහ.

1960 දශකයෙහි ඇතැම් විචාරකයන් විසින් සිරි ගුණසිංහ 'ශ්‍රී ලංකාවේ පංච මහා නවකතා කරුවන්ගෙන්' එක් නිර්මාණ කරුවකු හැටියට ලේඛනගත කරනු ලැබ ඇත.

පසු කාලයේ සිය සිනමා ජීවිතය ආරම්භ කළ සිරි ගුණසිංහයන්ගේ සම්මානනීය එසේම එකම චිත්‍රපටය 'සත්සමුදුර'යි.

'සත්සමුදුර' සිංහල සිනමාවේ කඩයිමක් ලෙස සිනමා විචාරකයන් විසින් හඳුන්වා දී ඇති අතර සිරි ගුණසිංහයන් 'රන්වන් කරල්' නමින් කෙටි චිත්‍රපටයක් ද අධ්‍යක්ෂණය කර ඇත.

සිරි ගුණසිංහ නවකතාකරුවකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු මෙන්ම කවියකු හැටියට ද සිංහල සාහිත්‍යය තුළ රැඳී සිටියි.

'අබිනික්මන' සහ 'මස් ලේ නැති ඇට' වැනි පද්‍ය සංග්‍රහ මගින් ඔහු හඳුන්වා දුන් නිදහස් පැදි ආර පසු කලයේ 'නිසඳැස්' කවියට පාර කැපීමක් විය.

සම්මානනීය ලේඛක ජී.බී.සේනානායක විසින් ආරම්භ කරන ලද නිසඳැස් පදය සම්ප්‍රදාය පසුකාලීන කවීන් අතට පත් වුනේ සිරි ගුනසිංහයන් අතින් තවත් පෝෂණය කරනු ලැබීමෙනි.

පසුකාලයේ ඔහු සිංහල කාව්‍ය සාහිත්‍යයේ මුදුන් මල්කඩ වන වෑත්තාවේ හිමියන්ගේ ගුත්තිල කාව්‍යය ටෙලි වෘත්තාන්තයක් බවට පත් කළේය.