දකුණේ ගංවතුර: ගැබිණි මවක් සහ දුරකථන රැහැනක එල්ලුණු පුද්ගලයෙක්

  • 2017 මැයි 26
උඩුගම ගංවතුර: මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල ගේ ෆේස්බුක් සටහනෙන්
Image caption උඩුගම ගංවතුර

හිනිදුම, තවලම ප්‍රදේශයේ පිහිටා ඇති ගිං ගඟේ ජල මාපකයේ උපරිම මට්ටම අඩි 15 වන නමුත් දැන් එම මට්ටම අඩි 24 ට වඩා වැඩි වී තිබෙන බව වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික් භාර අධ්‍යක්ෂ දීපිකා ත්‍රිමාවිතාරණ පවසයි.

ඒ අනුව එම නගර සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ අඩි 24 වඩා යට වී ඇති බවත් සිකුරාදා පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික් හදිසි ආපදා කමිටු රැස්වීමක් අමතමින් අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන්, පොලිසිය සහ ත්‍රිවිධ හමුදා නිලධාරින් ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීහු ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට සහභාගි වී සිටියහ.

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ එහිදී අදහස් දක්වමින්, ජලයෙන් යට වී තිබෙන නෙළුව හබරකඩ විහාරස්ථානයේ ගංවතුරට කොටු වී සිටි ගැබිණි මවක් තමන්ට දුරකතනයෙන් අමතා ඇය බේරාගන්නා ලෙස ඉල්ලා සිටි බවත් පැවසීය.

ගැබිණි මවක්

ඇය බේරාගන්නා මෙන් මන්ත්‍රීවරයා ආරක්ෂක අංශවලින් ඉල්ලීමක් කළේය.

Image caption අධික වර්ෂාපතනය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද මාර්ග රැසක් ජලයෙන් යට වී තිබිණ

ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් වැඩිවෙමින් තිබී එය ප්‍රචණ්ඩ ලෙස ඉහළ ගිය බවත්, කරකියාගත දෙයක් නොමැතිව පවුලේ සමාජිකයින් සමග දිවි බේරාගෙන පසුව ආරක්ෂිතව උස් ස්ථානයකට ගිය බවත් නෙළුව ප්‍රදේශයේ ගංවතුරට කොටු වී සිටි පුද්ගලයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.

පසුව සිය නිවස සම්පූර්ණයෙන්ම ගංවතුරට යට වූ බව ඔහු පැවසීය.

මේ වනවිට විදුලිය සහ දුරකථන පහසුකම් ඇණ හිටිම හේතුවෙන් මේවන විට එම ප්‍රදේශවල පවතින තත්වය පිළිබඳව තොරතුරු ලබා ගැනීම ඉතා දුෂ්කර බව වාර්තාකරුවෝ පවසති.

වේගයෙන් ගලන ජල පහර හේතුවෙන් උඩුගම, නෙළුව ප්‍රදේශවලට ප්‍රවේශවිම අපහසු වීම හේතුවෙන් ගංවතුරට කොටුවූවන් බේරාගැනිමේ මෙහෙයුම්වලට බාධා එල්ල වී ඇති බව යුද සහ නාවික හමුදා නිලධාරීහු පවසති.

මේ තත්වය යටතේ සිය හෙලිකොප්ටර් යානා දෙකක් ගාල්ල දිස්ත්‍රික්කයේ මෙහෙයුම් සඳහා යොදවා ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

මාතර ගංවතුර

මේ අතර ෆේස්බුක් ජාලය ඔස්සේ මාතර ප්‍රදේශවාසීන් වෙත පණිවුඩයක් යොමු කරන ගංවතුරට කොටු වී සිටින මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, කිසිවකු ගංවතුරට කොටු වී සිටින්නේ නම් තමන් අමතන මෙන් ඉල්ලීමක් කරයි.

Image caption ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයාද ගංවතුරට කොටු වී සිටියි

සහන සේවා හා මුදා ගැනීමේ කටයුතු දැන් ආරම්භ වී තිබෙන බව පවසන රාජ්‍ය අමාත්‍යවරයා, ආධාර අවශ්‍ය නම් ඒ සඳහා 0773011093 දුරකථන අංකය ඇමතීමෙන් තමන් හෝ 0714482590 දුරකථන අංකයට පළාත් සභා මන්ත්‍රී පසඳ යාපා අබේවර්ධන ඇමතිය හැකි බව දැනුම් දී තිබේ.

"මොනව හරි ආපදාවක් තිබෙනවා නම්, ජීවිත අවදානමක් හෝ විශාල ආපදාවක් තිබෙනවා නම් කරුණාකර කථාකරන්න."

තමන්ගේ මාතර නිවසේ උඩුමහල දක්වාම ජල මට්ටම ඉහල නැග තිබෙන බවත් අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.

දුරකථන රැහැනක එල්ලෙයි

තවමත් පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද මාර්ග රැසක් ජලයෙන් යට වී ප්‍රවාහන කටයුතුවලට බරපතල බාධා ඇතිවී තිබේ.

Image caption තිස්ස මාතර ප්‍රධාන මාර්ගයේ වාඩිගල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා ඇති විය

බ්‍රහස්පතින්දා රාත්‍රී තිස්ස මාතර ප්‍රධාන මාර්ගයේ වාඩිගල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් පැය දෙකකට අධික කාලයක් වාහන ගමනාගමනයට බාධා ඇති විය.

මේ අතර බෙලිඅත්ත දම්මුල්ල ප්‍රදේශයේදී ජල ගැල්මෙන් බේරීම සඳහා දුරකථන රැහැනක් දිගේ එමින් සිටි පුද්ගලයෙක් ජලයට වැටී අතුරුදහන්ව සිතන බව හම්බන්තොට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක යූඑල්ආර්එස් ගුණසිංහ බීබීසී සිංහල සේවයට පැවසීය.

එමෙන්ම පවතින අධික වර්ෂාව හේතුවෙන් කැකිරිඔබඩ ජලාශයේ වාන් දැමීම සිදුවන බැවින්, අවදානම් කලාප බවට හඳුනාගෙන ඇති බෙලිඅත්ත, කහවත්ත, නතුවල, අරන්වල, කැකිරිඔබට යන ග්‍රාම නිලධාරි වසම් හතරක සිටින ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත්වන ලෙස නියෝග කර තිබෙන බවත් ඔහු පැවසීය.

උඩුගම

වලස්මුල්ල සපුතන්ත්‍රී කන්ද ප්‍රදේශයේ නාය යාමේ අවදානමට මුහුණ දී සිටි පවුල් අටක් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

Image caption අගලවත්තේ, වෙයන්ගල ගංවතුර

මේ අතර සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබන මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල, දකුණේ ගංවතුර 2003 වසරේ ගංවතුර මට්ටම ඉක්මවමින් පවතින බව සඳහන් කරයි.

විශේෂයෙන්ම උඩුගම, කැටගොඩ ප්‍රදේශයේ ජල මට්ටම මේ වන විට අඩි විසි පහ ඉක්මවා (විදුලි කණු මට්ටමට) ඉහල ගොස් ඇති බව පවසන ඔහු, ඊට ඉහළින් පිහිටි තවලම, නෙළුව, හිනිඳුම ආදී ප්‍රදේශ තව තවත් ජලයෙන් යටවෙමින් පවතින බවත් සඳහන් කරයි.

"ගාල්ල, උඩුගම ප්‍රදේශයට මේ වන විට ලඟා වීමට ප්‍රධාන මාර්ග භාවිත කළ නොහැක. ගාල්ල උඩුගම ප්‍රධාන මාර්ගය ඔස්සේ පැමිණ උඩුගම රෝහළ අසලින් කැලෑව හරහා උඩුගම ප්‍රදේශය වෙත යා යුතුය. ඉවුම් පිහුම් සඳහා ප්‍රධාන වශයෙන්ම දර භාවිතා කරන එම ප්‍රදේශ මේ වන විට හාමතින් සිටීම ආරම්භ කර ඇත," යනුවෙන්ද එම ෆේස්බුක් සටහනේ සඳහන් වේ.

මේ තත්වය යටතේ එම ප්‍රදේශයේ ජනතාව පානීය ජල හිඟයකට ද මුහුණදෙමින් සිටිති.

සබැඳි විෂයයන්