නිල්වලා කැළඹෙයි ! – “ගංගා අසළින් ඉවත්වන්න”

  • 2017 මැයි 27

නිල්වලා ගඟ ආශ්‍රිත ගංවතුර තත්ත්වය පාලනය කළ නොහැකි මට්ටමට පැමිණ තිබේ.

මේ අනුව අකුරැස්ස සිට මාතර නගරය දක්වා නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශවාසීන්ට ඉවත්ව සිටින ලෙස තවදුරටත් දැනුම්දෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලාපවාහන හා ගංවතුර පද්ධති පිළිබඳ වාරිමාර්ග අධ්‍යක්ෂිකා ජානකී මීගස්තැන්න පැවසුවාය. ඇය සඳහන් කළේ මාතර මහ රෝහලේ රෝගීන් ඉවත් කරගන්නා ලෙස එම රෝහලට දැනුම් දී ඇති බවය.

ගංගා දෙපසින් ඉවත්වන්න !

ලබන 29 වෙනිදා සිට 31 වෙනිදා දක්වා තව දුරටත් වර්ෂාපතනය වැඩි වීමට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දී ඇති පුරෝකථනය අනුව ගංගා දෙපසින් ඉවත්වන ලෙස බලධාරීහු තවදුරටත් අනතුරු අඟවති.

මේ අනුව සමස්තයක් ලෙස කැලණි, කළු, නිල්වලා, ගිo යන ගංගා දෙපසින් ඉවත්ව සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

නිල්වලා කැළඹිලා

නිල්වලා ගඟ ආශ්‍රිතව ගොඩනගා ඇති ජලගැලීම් පාලන වේලි ආරක්ෂා කළ නොහැකි තත්ත්වයට පැමිණ ඇති අතර මේ වනවිට එම වේලි මතින් ආරක්ෂිත ප්‍රදේශයට ද ජලය ගලා එමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂිකා ජානකී මීගස්තැන්න කීවාය.

එසේ ගලා එන ජලය ඉවත් කිරීම සඳහා පොම්ප යොදා ගැනුනද මතුවී එන තත්ත්වය හමුවේ සිකුරාදා (මැයි 26) සවස එම පොම්ප ක්‍රියාවිරහිත කර ඇත.

Image caption නිල්වලා ජලයෙන් යටවූ ප්‍රදේශ

"නිලවලා ගඟේ ජල මාපක වෙත ළඟා වෙන්න බැරි තරමට ජල මට්ටම ඉහළ ගිහින්. මාතර මහනාම පාලමේ ගෑවෙන තරමට ගඟේ ජල මට්ටම ඉහළ නැගලා" යැයි අධ්‍යක්ෂිකා ජානකී මීගස්තැන්න පැවසුවාය.

කැලණි ගඟේ තත්වය

පසුගිය 25 වෙනිදා ඇදහැලුණු මහා වැසි සමග හංවැල්ල සහ අවිස්සාවේල්ල ආශ්‍රිතව කැලණි ගඟේ ජල මාපකවල පෙන්නුම් කළේ මහා ගංවතුර තත්ත්වයකි.

සිකුරාදා (මැයි 26) දිනය තුළ නාගලගම්වීදිය ජල මාපකය ආශ්‍රිතව ද තත්ත්වයේ අඩුවක් පෙන්වුවද අවධානය ඉවත නොගැනීමට එය හේතුවක් නොවන බව වාරිමාර්ග අධ්‍යක්ෂිකා ජානකී මීගස්තැන්න පවසන්නීය.

ඉදිරි දිනවල වැසි නැවත ලැබීමේ හැකියාව මත ගං මිටියාවත්වල පහත්බිම් කරා ජලය ගලා ඒමේ ඉඩකඩ පවතී.

කළු ගඟ

රත්නපුර ප්‍රදේශයට තවමත් වැසි ඇද හැලීම හේතුවෙන් කළු ගඟ ඔස්සේ පහත ප්‍රදේශ කරා විශාල ජල ප්‍රවාහයක් ඇදී එමින් පවතී.

එබැවින්, කළුතර නගරාසන්නය ඇතුළු ප්‍රදේශවල ජනතාව අවධානයෙන් සිටීම වැදගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනට බලපෑ ඇති කාලගුණ තත්ත්වය මේ මාසය අවසානය වනතෙක් පැවතිය හැකි බවය.

විශේෂයෙන්ම ලබන 29, 30 සහ 31 දිනවල දී වැසි වැඩිවීමක් සිදුවනු ඇති බවට පුරෝකථනය කර ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක ප්‍රකාශ කළේය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල පවතින තද සුළං අද දිනයේ වැඩි වී ඇති බවද ඔහු පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර