ගංවතුර සහ නාය යාම්: ගාල්ලේ ලක්ෂයකට අධික ජනතාවකට ගංවතුරෙන් පීඩා

  • 2017 මැයි 29
ගංවතුර

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහනවයකට අයත් පවුල් 26,072 ක් ගංවතුරින් පීඩාවට පත්ව ඇති බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව ඉහත කී පවුල්වලට අයත් 104,144 දෙනෙකුට ආපදා තත්වය බලපා තිබේ.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ටී කොඩිකාර කියා සිටියේ එම දිස්ත්‍රික්කයේ පැවති ගංවතුර තත්ත්වය පහව යමින් පවතින බවය.

නෙළුව, තවලම හා හිනිඳුම යන ප්‍රදේශවල පැවති ගංවතුර සම්පූර්ණයෙන්ම බැස ගොස් ඇති බව කියා සිටි දිස්ත්‍රික් ලේකම්වරයා ගිං ගඟ ආශ්‍රිත පහළ ප්‍රදේශ තවමත් ජලයෙන් යටව පවතින බව සඳහන් කළේය.

නාගොඩ, යක්කලමුල්ල, බද්දේගම, දිවිතුර-වැලිවිටිය සහ බෝපේ පෝද්දල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තවමත් ජලයෙන් යටව පතින ප්‍රදේශ අතර වේ.

මේ අතර සහන සේවා සඳහා යොදවා තිබූ ගුවන් හමුදාවට අයත් MI 17 වර්ගයේ හෙලිකොප්ටරයක් කාර්මික දෝෂයක් මත බද්දේගම ඉනිමංකඩ ප්‍රදේශයට හදිසියේ ගොඩ බැස්වූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

ගොඩ බෑමේදී හෙලිකොප්ටරයේ ඇතැම් කොටස්වලට හානි සිදු වී ඇති ආකාරය දැක ගත හැක.

ඒ අසල ප්‍රදේශවාසියෙක් කියා සිටියේ විශාල ශබ්දයක් නගමින් හෙලිකොප්ටර් යානය පොළොව දෙසට පැමිණි බවය.

හදිසි ගොඩ බෑමේදී ඒ අසල නිවසක වහලයකට හානි සිදුව තිබේ.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර