ගංවතුරත් සමඟ කිඹුලන් සහ සර්පයන්

Image caption ශ්‍රී ලංකාවේ ගංගා ශ්‍රිත කිඹුලෙක්

ගංවතුර සහ නාය යාම් නිසා මිනිසුන් පමණක් නොව ආපදාවට ලක් වූ ප්‍රදේශවල ජීවත් වූ වනජීවීන්ද ප්‍රශ්නවලට මුහුණ දෙන අතර එමගින් මිනිස් ජීවිතවලට තවත් තර්ජනයක් එල්ල වීමේ ඉඩකඩක් පවතින බව වනජීවී දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් පවසයි.

බීබීසී සිංහල සේවය සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී දීර්ඝ වශයෙන් කරුණු පැහැදිළි කළ වෛද්‍යවරයා, විශේෂයෙන් ම ගංවතුර ගැලීමක දී ගංගාශ්‍රිතව ජීවත් වෙන කිඹුලන් වැනි ජීවීන් වෙනත් ප්‍රදේශ වලට ගසාගෙන යන අතර ඔවුන්ගේ සංචරණය මිනිස් ජීවිතවලට අනතුරුදායක බව පෙන්වා දුන්නේය.

"ගංවතුරකින් පසු එම ජීවීන් ජීවත් වන්නේ ඔවුන්ගේ ස්වාභාවික වාසස්ථානවල නොවෙයි. වෙනත් තැන්වල.ඒ ගැන මිනිසුන්ට අවබෝධයක් නැහැ. එවැනි තත්වයක් යටතේ අපරීක්ෂාකාරීව කටයුතු කළොත් එම ජීවීන්ගෙන් අනතුරු සිදු වෙන්න ඉඩකඩ තියෙනව" වෛද්‍ය තාරක ප්‍රසාද් පැහැදිලි කරයි.

කිඹුලන් පමණක් නොව සර්පයන්ද ගංවතුර සහ නාය යාම් වලින් අනතුරුව මිනිසුන්ට පහර දී ඇති බවට වාර්තා ඇති බවත් වෛද්‍යවරයා සිහිපත් කරයි.

"පරිසරයේ ඇතිවෙන වෙනසත් සමඟ සැරිසරන සර්පයන් මිනිස් පයට පෑගීමෙන් සහ වෙනත් හේතූන් නිසා මිනිසුන්ට පහර දෙන්න පුළුවන්"

Image caption කිඹුලන් බැලීමට යාමෙන් වළකින ලෙස උපදෙස්

"ඒ වගේ අනතුරු මෙයින් පෙර අපට වාර්තා වෙලා තියෙනව. එම අනතුරු බොහෝවිට සිදු වෙන්නේ කිඹුලන් වැනි සතුන් බලන්න යන අවස්ථාවල. ඒ නිසා එවැනි සතුන් නැරඹීමට යාමෙන් මහජනතාව වැළකිය යුතුව තියෙනවා " වනජීවී දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් මහජනතාව දැනුවත් කරයි.

එවැනි අනතුරුදායක අවස්ථාවක කළ යුත්තේ එම සතුන් නැරඹීමට යාම නොව 1992 හදිසි ඇමතුම් අංකය අමතා ඒ පිළිබඳව දැනුම් දීම බවත් වනජීවී දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා පවසයි.

මෙවර ගංවතුර සමයේත් නිවසක් තුළට ඇතුල් වූ කිඹුලකු පිළිබඳව මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර