ගංවතුර සහ නාය යාම්: නිවාස 9,354 ක් විනාශයි

  • 2017 ජුනි 1
ගංවතුර සහ නාය යාම්

අයහපත් කාලගුණය හමුවේ ඇති වූ ගංවතුර හා නාය යාම් හේතුවෙන් නිවාස 9,354 ක් විනාශ වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට වාර්තා වී තිබේ.

ඒ අතරින් නිවාස 1,540 ක් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති අතර නිවාස 7,814 ට අර්ධ හානි සිදුව තිබෙන බව වාර්තාවේ.

නිවාස හානි වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙනි.

එම දිස්ත්‍රික්කයේ නිවාස 658 ක් සම්පුණයෙන්ම විනාශ වී තිබෙන අතර නිවාස 3,314 ට අර්ධ හානි සිදුව තිබේ.

රත්නපුර හා කළුතර යන දිස්ත්‍රික්කවලට අයත් නිවාසවලට ද දැඩි හානි සිදුව ඇත.

එම නිවාසවල තිබූ බඩු භාණ්ඩ ද විශාල වශයෙන් විනාශ වී ඇති අතර ඉන් සිදුව ඇති හානිය පිළිබඳ මෙතෙක් සත්තමේන්තු කර නොමැත.

ගංවතුර බැස ගිය ප්‍රදේශ රැසක ජනතාව මේවන විට තම නිවාස පිරිසිදු කිරීම ආරම්භ කර තිබේ.

රජයෙන් පොරොන්දුවක්

විනාශයට පත් නිවාස යළි ඉදි කර දෙන බවට රජය ප්‍රතිඥා දී තිබෙන අතර ආපදා සහනාධාර වශයෙන් ලැබෙන විදෙස් මූල්‍යාධාර, නිවාස අහිමිවූවන්ට නිවාස ඉදි කරදීම සඳහා යෙදවීමට අඟහරුවාදා (මැයි 31) රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

නිවාස ප්‍රතිසංස්කරණය කිරීම ත්‍රිවිධ හමුදාවේ, සිවිල් ආරක්ෂක බලකායේ සහ නිවාස සංවර්ධන අධිකාරිය මෙන්ම වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ සහයෝගයෙන් සිදුවන ආණ්ඩුව පවසයි.

විශේෂයෙන් නව නිවාස ඉදි කිරීමේදී නාය යාමේ තර්ජනයට ලක්ව ඇති අවදානම් කලාපවලින් පිටත ප්‍රදේශවල ඉඩම් හඳුනාගෙන එම නිවාස එහි ඉදිකරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන උපදෙස් ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

දැනට පාසල්, පන්සල් වැනි පොදු ගොඩනැගිලිවල තාවකාලිකව රැඳී සිටින නිවාස අහිමිවූවන් සඳහා නව නිවාස ඉදිකරන තෙක් තාවකාලික කූඩාරම් හෝ ලෑලි නිවාසවල පදිංචි කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

පසුගිය වසරේ අරනායක ප්‍රදේශයේ සිදු වූ නාය යාම හේතුවෙන් නිවාස අහිමි වූ පිරිස් තවමත් කුඩාරම්වල ජිවත්වන අතර ඔවුන්ගේ නව නිවාස ඉදිකිරීම් අවසන් අදියරට ළඟා වී ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍යවරයා බදාදා (මැයි 31) කියා සිටියේය.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර