තෙමුණු පොත් රැක ගන්නේ කොහොමද?

  • 2017 ජුනි 1
පොත් Image copyright Getty Images
Image caption කිසි විටකත් හිරු එළියෙන් පොත් වියළීම සිදු නොකළ යුතුය - ජාතික ලේඛනාගාරය

ශ්‍රී ලංකාවේ පළාත් ගණනාවක් මුහුණ දුන් නාය යාම් සහ ගංවතුර ව්‍යසනය හේතුවෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ල විය.

ගංවතුරට සහ නාය යාම්වලට හසු වූ බොහොමයක් සිසු සිසුවියන්ගේ පොත් පත් ඇතුළු පාසල් උපකරණ සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී තිබේ.

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් දිස්ත්‍රික්ක අටක පාසල් වසා දැමීමට ද බලධාරීහු කටයුතු කළහ.

මේ අතර ගංවතුරට හසුව හානියට පත් පොත්පත් සහ වෙනත් ලියකියවිලි නැවත ප්‍රයෝජනයට ගත හැකි අයුරින් ආරක්ෂා කර ගැනීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ජාතික ලේඛනාගාර අධ්‍යක්ෂිකා ආචාර්ය සරෝජා වෙත්තසිංහ පවසන පරිදි ගංවතුරට හසු වූ පොත්පත් ආරක්ෂා කර සංරක්ෂණය කිරීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග පහත දැක්වේ.

  • පොත්පත් සහ ලේඛනවල මඩ සහ කුණු තැවරී ඇත්නම් පළමුව ඒවා ජලයෙන් සෝදා ඉවත් කළ යුතුය
  • තෙමී ඇති පොත්/ලේඛන එකිනෙක ඇලීම වැළැක්වීම සඳහා පිටු අතරට වියළි හාෆ්ෂීට් කඩදාසි තබන්න
  • ඉන්පසු මද පවනේ හෝ විදුලි පංකාවක් හෝ කෙස් වියලනයක් (Hair Dryer) ආධාරයෙන් පොත දිගහැර තෙතමනය නැති කර ගන්න
  • කිසි විටකත් හිරු එළියෙන් පොත් වියළීම සිදු නොකළ යුතුය
  • රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනවලට හෝ පුද්ගලයන්ට අයත් ලේඛන හානියට පත් වී ඇත්නම්, ඒවා සංරක්ෂණය කරන ආකාරය ප්‍රයෝගිකව දැන ගැනීම සඳහා ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුවේ දුරකතන අංක 0112-696917, 0112-677578, 0112-694523 වෙත අමතා වෙලාවක් වෙන් කර ගත හැක
  • දැඩි ලෙස ආපදාවට ලක්ව ඇති ලේඛන වේ නම් කලින් වෙන්කරවා ගත් වෙලාවක ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට රැගෙන ආ හැක

ලේඛන ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීමට නිරතුරු සූදානම් බවත් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මේ අතර ගංවතුර සහ නාය යාම්වලට හසුව පොත් පත් අහිමි වූ දරුවන් වෙත උපකාර කිරීම සඳහා ස්වේච්ඡා කණ්ඩායම් ෆේස්බුක් ඇතුළු සමාජ ජාල යොදා ගනිමින් කටයුතු කරමින් සිටිති.

සබැඳි යොමු:

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර