මුස්ලිම් ප්‍රජාවට එරෙහි ප්‍රහාර: මානව හිමිකම් කොමිසමේ අවධානය

Image caption ඇල්පිටියේ ගිනි තබා විනාශ කෙරුණු සාප්පුවක්

මුස්ලිම් ප්‍රජාව සහ අනෙකුත් සුළුතර අන්‍යාගමික ප්‍රජා ඉලක්ක කර ගත් වෛරී සහ ප්‍රචණ්ඩකාරී කථන ප්‍රචාරය කිරීමට පොළඹවන සහ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන පුද්ගලයන්ට විරුද්ධව පියවර ගැනීමට කටයුතු කරන මෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයට සහ පොලිස්පතිවරයාට කඩිනම් නියෝග නිකුත් කරන මෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉල්ලා සිටින්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ලිපියක් යොමු කරමිනි.

"අතිශය බරපතල තත්වයට පත්ව ඇති මුස්ලිම් ජනතාව ඉලක්ක කොට ගත් ප්‍රචණ්ඩකාරී සහ ආක්‍රමණශීලී ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ස්වකීය බලවත් කණස්සල්ල පළ කර සිටී" යනුවෙන් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

මීට පෙරත් මේ හා සමානම හැසිරීම් දාමයන් හේතු කොට ගෙන 2014 ජුනි මාසයේ දී අලුත්ගම ප්‍රචණ්ඩත්වයට මග පෑදුණු බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවඒ සඳහා පෙළඹවීම් කළ සහ ප්‍රචණ්ඩකාරී හැසිරීම්වලට වගකිවයුතු පුද්ගලයන් නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා අර්ථවත් වැඩපිළිවෙළක් මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බව ද සිහිපත් කරයි.

සමාජ ජාල

Image caption කුරුණෑගල මාවලපිටියේ ජුම්මා මුස්ලිම් පල්ලියට එල්ල වූ පෙට්‍රෝල් බෝම්බ ප්‍රහාරය

මුස්ලිම් ප්‍රජාවට එරෙහිව ප්‍රචණ්ඩත්වය දියත් කිරීම සඳහා ජනතාව පොළඹවාලමින් සමාජ මාධ්‍ය ජාල සහ ඇතැම් ප්‍රධාන මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කරනු ලබන වෛරීය කථනයන් සිය අවධානයට ලක්ව ඇති බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

"කිසියම් ප්‍රජාවකට එරෙහිව එල්ල කරන්නා වූ එවැනි වෛරී සහ ප්‍රචණ්ඩකාරී කථනයන්, 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය ආශ්‍රිත පනත සහ ශ්‍රී ලංකා දණ්ඩනීති සංග්‍රහයේ විධිවිධාන යටතේ අපරාධ ලෙස සැළකෙන ක්‍රියාවන් වේ" යනුවෙන් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියේ වැඩිදුරටත් දැක්වේ.

එබැවින් එවැනි ක්‍රියාවල යෙදෙන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිප්‍රකාරව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රටේ පොදු යහපත තකා එකී නීති ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවත් අවධාරණය කරයි.

ජාතිය,ආගම කුමක් වුවත් රටේ නීතිය උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිසියට උපදෙස් දී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගිය 23 වෙනිදා පැවසීය.

මුස්ලිම් පල්ලි සහ ව්‍යාපාරික ස්ථානවලට එරෙහිව එල්ලවෙමින් තිබෙන ප්‍රහාර ජාතික භාෂා සහ සහජීවනය පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් විසින් හඳුන්වනු ලැබුවේ ආණ්ඩුවට එරෙහිව මුස්ලිම් ජනතාව උසිගැන්වීමේ වැඩපිළිවෙලක් ලෙසය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර