ගංවතුර සහ නාය යාම්: පවුල් 11,203 ක් තවමත් කඳවුරුවල

ගංවතුර Image copyright Getty Images

පසුගිය දිනවල පැවති ගංවතුර සහ නාය යාම් හේතුවෙන් අවතැන් වූ පවුල් 11,203 ක් තවදුරටත් ආරක්‍ෂිත ස්ථානවල රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම පවුල්වලට අයත් 39,092 දෙදෙනෙකු ආරක්‍ෂිත ස්ථාන 239 ක රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඒ ඒ දිස්ත්‍රික්කවල ආරක්‍ෂිත ස්ථානවල රඳවා සිටින පවුල් සංඛ්‍යාව

  • රත්නපුර 6,244
  • කෑගල්ල 13
  • නුවර 16
  • මාතර 3,607
  • හම්බන්තොට 28
  • ගාල්ල 633
  • කොළඹ 264
  • කළුතර 230
  • ගම්පහ 06
  • නුවරඑලිය 162

මේ අතර ගංවතුර සහ නාය යාම්වලට හසුව මරණයට පත් සංඛ්‍යාව 211 දක්වා ඉහළ ගොස් තිබේ.

නිල වාර්තාවලට අනුව අතුරුදහන්ව සිටින පිරිස 91 කි.

ගංවතුර, නාය යාම් සහ සුළං හේතුවෙන් පවුල් එක්ලක්ෂ අසූ පන්දහස් අටසිය පහකට (185,805) අයත් හත්ලක්ෂ හාරදහස් අටසිය පහළොස් දෙනෙකු (704,815) පීඩාවට පත්ව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

කාලගුණ වාර්තාව

Image copyright Getty Images

මේ අතර බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සෙසු පළාත්වල (විශේෂයෙන් ඌව පළාතේ) සවස් කාලයේ තැනින් තැන වැසි සහිත ගිගිරුම් ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මාතලේ දිස්ත්‍රික්කයේ විටින් විට පැයට කිලෝමීටර 50 දක්වා සාමාන්‍ය තද සුළං ඇති විය හැකි බවත් එහි සඳහන් වේ.

අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර