“ආහාර පාර්සල්වල වඳ බෙහෙත් කතාව බොරුවක්”

  • 2017 ජුනි 4
Image caption වෛරී ප්‍රකාශන වලට එරෙහිව වෙනම විමර්ශන කණ්ඩායමක්

නාරම්මල ප්‍රදේශයේ හෝටලයක අලෙවි කරන බත් පාර්සල්වල වඳ බෙහෙත් ඇතුළත් බවට සමාජ ජාලා වෙබ් අඩවිවල පළ කෙරුණ පුවත සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලද අතර එය සහමුලින්ම අසත්‍ය ප්‍රචාරයක් බව හෙළිකර ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

එම පුවත සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇති අතර "අදාළ ව්‍යාජ පුවත පළ කරන ලද පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට" පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරමින් ඇති බවත් එහි දැක්වෙයි.

මේ අතර රට තුළ සංහිඳියාව බිඳ දමන වෛරී ප්‍රකාශන සමාජ ජාලා වෙබ් අඩවිවලට එක් කරනු ලබන පුද්ගලයන්ට එරෙහිව කටයුතු කිරීමට වෙනම විමර්ශන කණ්ඩායමක් පත්කර ඇති බවත් ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

ජාතීන් සහ ආගම් අතර විරසක තත්වයන් නිර්මාණය කිරීමේ ක්‍රියාවන්හි නිරත ඕනෑම පුද්ගලයකුට හෝ කණ්ඩායමකට එරෙහිව තරාතිරම නොබලා නීතිය දැඩිලෙස ක්‍රියාත්මක කරන බවත් ශ්‍රී ලංකා පොලිසිය අවධාරණය කරයි.

එසේම නව සැලසුම යටතේ යම්කිසි පොලිස් බල ප්‍රදේශයක එවැනි ගැටුම්කාරී හෝ අනර්ථකාරී සිද්ධියක් ඇති වුනොත් එහි වගකීම අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයාට පැවරෙන බවත් පොලිස් මූලස්ථානය විසින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වෙයි.