කටාරයේ 'ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමේ වෑයමක්'

  • 2017 ජුනි 5
Image copyright EPA

තමන් සමග තානාපති සම්බන්ධතා අත්හිටුවීමට අරාබි රටවල් හයක් ගෙන තිබෙන තීරණය සිය රටේ "ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමේ උත්සාහයක්" බව පවසන කටාරය, තමන්ට එරෙහිව පදනම් විරහිත චෝදනා මුල් කරගෙන අදාළ රටවල් එම තීන්දුවට එළැඹි ඇති බවත් සඳහන් කරයි.

ත්‍රස්තවාදයට අනුබල දෙන බවට චෝදනා කරමින් කටාරය සමඟ තානාපති සම්බන්ධතා අත්හිටුවන බව නිවේදනය කළ සෞදි අරාබිය, ඊජිප්තුව, බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, යේමනය සහ ලිබියාව ඒ සමගම කටාරය සමග සියලු දේශසීමා වසා දමන බව ද නිවේදනය කළේය.

ඉස්ලාමීය රාජ්‍ය (IS), අල් කයිඩා ඇතුළු සන්නද්ධ සංවිධානවලට ආධාර කරන බවට එම රටවල් කටාරයට චෝදනා කරති.

එහෙත් එම චෝදනාව තරයේ බැහැර කරන කටාරයේ විදේශ අමාත්‍යාංශය පවසන්නේ "කලෙක පටන් කටාර් රාජ්‍යයට හානි කිරීමේ යටි අදහසින් යුතුව සිතා මතා කරනු ලබන පෙළඹවීමේ වෑයමක ඉලක්කයක් බවට කටාර් රජය පත්ව තිබෙන," බවය.

'බාධාවක් නෑ'

විශේෂයෙන්ම සෞදි අරාබිය, බහරේනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන මැද පෙරදිග රටවල් තුනේ තීරණය කටාරයේ දැඩි විවේචනයට ලක් වී තිබේ.

කටාරය ඉරානයේ ආධාර ලබන සන්නද්ධ කණ්ඩායම් සමඟ කටයුතු කරන බවට සෞදි අරාබිය චෝදනා කරන අතර, කටාරය සිය අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙන බව බහරේනය කියා සිටී.

කටාරය කලාපයේ ආරක්ෂාව අස්ථාවර කරන්නේය යන්න එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ චෝදනාවයි.

එම සියලු චෝදනා බැහැර කරන කටාර විදේශ අමාත්‍යාංශය නිවේදනය, GCC හෙවත් ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ ක්‍රියාශීලී සාමාජිකයකුවන තමන් "අනෙක් රටවල ස්වෛරීභාවයට ගරු කරන සහ අන් රටවල අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගසන එමෙන්ම ත්‍රස්තවාදයට සහ අන්තවාදයට එරෙහිව සටන් කිරීමේ වගකීම ඉටු කරන," රාජ්‍යයක් බව අවධාරණය කරයි.

කොළඹ පිහිටි කටාර තානාපති කාර්යාලය විසින් සිය විදේශ අමාත්‍යාංශ නිවේදනයේ සිංහල සහ දෙමළ භාෂා පරිවර්තනයන් ද ප්‍රකාශයට පත්කරනු ලැබ තිබේ.

අරාබි රටවල් හයේ තීරණය හේතුවෙන් කටාර වැසියන්ගේ සහ එහි වෙසෙන විදේශිකයන්ගේ සාමාන්‍ය දිවි පෙවෙතට කිසිදු බලපෑමක් ඇතිනොවීම තහවුරු කිරීම පිණිස සියලු පියවර ගන්නා බවත් කටාර් රාජ්‍යය අවධාරණය කරයි.

ගල්ෆ් කලාපීය රටවල් අතර හටගත් අනපේක්ෂිත මත ගැටුමෙන් අනතුරුව කටාරයේ වෙසෙන සිය රටවැසියන්ට එරටින් ඉවත්වෙන මෙන් සෞදි අරාබිය, එක්සත් අරාබි එමීරය සහ බහරේනය දැනටමත් දැනුම් දී තිබේ.