ඇමතිකම් බෙදීමේ විද්‍යානුකූලභාවය ගැන ආණ්ඩුවේ විග්‍රහය
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඇමතිකම් බෙදීමේ 'විද්‍යානුකූලභාවය' ගැන ආණ්ඩුවේ විග්‍රහය

පසුගියදා සිදු කළ කැබිනට් මණ්ඩල සංශෝධනයේ දී සංවර්ධන විෂයයට අදාළ තවත් ඇමති ධුරයක් ඇති කරනු ලැබිණි.

තිලක් මාරපන වෙත සංවර්ධන කාර්යභාර ඇමති ධුරය පිරිනැමෙන්නේ ඒ අනුවය.

සංවර්ධන කාර්යභාර නමින් තවත් අලුත් ඇමති ධුරයක් ඇති කරනු ලැබ ඇත්තේ සංවර්ධන උපායමාර්ග, ප්‍රාදේශීය සංවර්ධන, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන, දක්ෂිණ, සබරගමු, වයඹ, බස්නාහිර සංවර්ධන හා විශේෂ ව්‍යාපෘති යන ඇමති ධුරවලට අමතරවය.

සංවර්ධන විෂයය සඳහා මෙතරම් අමාත්‍ය ධුර ඇති කිරීම පිළිබඳ අද බදාදා (ජුනි 07) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී බීබීසී සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දුන් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ ආණ්ඩුවේ ප්‍රධාන අරමුණ රට සංවර්ධනය කිරීම බැවින් ඒ සඳහා වැඩි පිරිසක් පත් කිරීමේ වරදක් නොමැති බවය.

අලුතෙන් ඇමති ධුර ඇති කිරීමේ දී ඒ සඳහා රජයට විශාල පිරිවැයක් දැරීමට සිදු වෙනවා නොවේ දැයි විමසූ අවස්ථාවේ ඇමතිවරයා කියා සිටියේ අදාළ ඇමති ධුර දරනු ලබන ඇමතිවරයෙක් රට තුළට එක් ආයෝජකයක් ගෙන ආවොත් ඇමති ධුර සඳහා වැය වන සියලු වියදම් කැපී යන බවය.

මෙවර කැබිනට් සංශෝධනයේ දී මුදල් හා ජනමාධ්‍ය ඇමති ධුර ඒකාබද්ධ කරනු ලැබුවේ ආණ්ඩුව බලයට පත්වන අවස්ථාවේ පොරොන්දු වූ විද්‍යානුකූල ආකාරයට දැයි විමසූ විට රාජිත සේනාරත්න අමාත්‍යවරයා සඳහන් කළේ ජනමාධ්‍ය ඕනෑම විෂයයක් සමග සම්බන්ධ කළ හැකි බවය.

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර එහිදී කියා සිටියේ බෞද්ධ කටයුතු සහ ධීවර කර්මාන්තය එකම අමාත්‍යංශයක් යටතට පත් කරනු ලැබුවොත් එය ප්‍රශ්නයක් වනු ඇතත් මෙහිදී එවන් ගැටලුවක් පැන නොනගින බවය.