බුරුම හමුදා යානයක් 'අතුරුදහන්'

  • 2017 ජුනි 7
අතුරුදහන් වූ යානයේ ගමන් මග
Image caption අතුරුදහන් වූ යානයේ ගමන් මග

මගීන් 100 කට වැඩි පිරිසක් රැගෙන පියාසර කරමින් තිබුණ බුරුම (මියන්මාර) හමුදා ගුවන් යානයක් අතුරුදහන් වී ඇති බව බලධාරීහු පවසති.

අතුරුදහන් වනවිට එම යානය දකුණු පළාතේ බ්යෙක් (Myeik) නගරයේ සිට යැන්ගොන් (Yangon = Rangoon) බලා පියාසර කරමින් සිටි බවත් ඔවුහු පවසති.

"යානය දවෙයි (Dawei) නගරය ආසන්නයට ළඟාවීමෙන් අනතුරුව සවස 1:35 ට පමණ යානය සමග සියලු සම්බන්ධතා ඇනහිටි," බව හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මගීන් 105 දෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ 11 දෙනෙක් යානයේ ගමන් කළ බව ගුවන් තොටුපොළේ නිලධාරියෙක් AFP පුවත් සේවයට පැවසීය.

එහෙත් චීනයේ නිෂ්පාදිත ගුවන් යානයේ කොපමණ පිරිසක් ගමන් කළේද යන්න පිළිබඳව හමුදාව කිසිවක් සඳහන් නොකළේය.

යානය සෙවීමේ මෙහෙයුම් සඳහා හමුදා ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා පිටත්කර යවා තිබේ.

අතුරුදහන් වනවිට යානය අන්දමන් දූපත් ඉහළින් පියාසර කරමින් සිටි බවත් හමුදාව පවසයි.

සබැඳි විෂයයන්