"මළවුන් සැමරීමට ඇති අයිතිය තහවුරු කරන්න"

  • 2017 ජුනි 10
Image copyright Getty Images
Image caption උතුරේ සහ දකුණේ යුද පීඩාව

යුද්ධයෙන් මරණයට පත් පුද්ගලයන් ස්මරණය කිරීමේ ක්‍රියාකාරකම්වල යෙදීම සඳහා ඇති අයිතිය සහ එවන් ක්‍රියාකාරකම්වල යෙදෙන පුද්ගලයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

"තම ප්‍රියයන් අනුස්මරණය කිරීමට ඇති අවස්ථාව අහිමි කිරීමෙන් වන්නේ වාර්ගික බෙදීම් තව තවත් වර්ධනය වී සංහිඳියා පරිශ්‍රමය අඩාල වීම පමණකි" යනුවෙන් මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත යොමු කළ ලිපියක සඳහන් වේ.

අනුස්මරණය කිරීමට අවකාශය ලබා දීම මගින් ශ්‍රී ලංකාවේ පුරවැසියන් ලෙස තම අයිතිවාසිකම් භුක්ති විඳීමට හැකිය යන විශ්වාසය අදාළ පවුල් තුළ ගොඩ නැගෙන බව මානව හිමිකම් කොමිෂන් සභාව පෙන්වා දෙයි.

"වෙන්ව ගිය ස්වකීය ප්‍රියයෙකු වෙනුවෙන් ශෝක වීමේ සහ සැමරීමේ අයිතිය කිසියම් පවුලකට අහිමි කිරීමට මියගිය තැනැත්තා එල්ටීටීඊ සාමාජිකයෙක් වූයේය යන හේතු පාදක කර ගත යුතු නොවේ. ස්වකීය තරාතිරම හා දේශපාලන විශ්වාසයන් නොතකා සිය ප්‍රියයන්ගේ විප්‍රයෝගය සිහිපත් කිරීම සෑම පවුලක් සතු වගකීමකි"

යුද්ධයේ අග භාගයේ දී ජීවිත අහිමි වූවන් අනුස්මරණය සඳහා මුලතිව් ජේසු සමාජයේ එලිල් රාජේන්ද්‍රන් පියතුමන් විසින් සංවිධානය කරන ලද අනුස්මරණ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලිසිය අවස්ථා ගණනාවක දී තමන් කැඳවනු ලැබූ බවට උන්වහන්සේ මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර ඇති බවත් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ දැක්වේ.

එල්ටීටීඊ සාමාජිකයන්ගේ නම්

Image caption මැයි 18 උතුරේ සමරු මෙහෙයක්

යුද්ධයෙන් ජීවිත අහිමි වූවන්ගේ නම් මුල්ලිවයික්කාල් හි ස්ථාපිත කරනු ලබන ස්ථීර ස්මාරකයක තැන්පත් කරමින් එම අනුස්මරණ ක්‍රියාදාමය දියත් කිරීමට නියමිතව තිබූ බවත් එහි දැක්වේ.

ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම පිණිස මුලතිව් සහ වවුනියා පොලිස් ස්ථානවල පෙනී සිටින ලෙස පොලිසිය අවස්ථා ගණනාවක දී එලිල් පියතුමා කැඳවා ඇති අතර ස්මාරකයේ සඳහන් කිරීමට යෝජිත නම් අතර එල්ටීටීඊ සාමාජිකයන්ගේ නම් නොමැති බව තහවුරු කර ගැනීම සඳහා එම නම් සියල්ල ඉදිරිපත් කරන ලෙස පොලිසිය වෙත කැඳවන ලද පියතුමන්ගෙන් ඉල්ලා ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාව කියා සිටී.

අනුස්මරණ උත්සවය සම්බන්ධයෙන් එලෙස විවිධ පොලිස් ස්ථානවල දී සහ සිය නිවසේ දී පුන පුනා ප්‍රශ්න කිරීම හිංසාවක් බවත් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රකාශිතව පිළිගනු ලැබ ඇති යාම්ඊම්, භාෂණයේ හා සමාගමයේ ස්වකීය නිදහසට එමගින් බාධා පැමිණෙන බවටත් එලිල් පියතුමා තමන් වෙත පැමිණිලි කර ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් වේ.

අනුස්මරණය සහ සංහිඳියාව

Image copyright Getty Images
Image caption "අනුස්මරණය වූ කලී සංහිඳියා ක්‍රියාදාමයෙහි වැදගත් හා අනුකූලනිත ක්‍රියාකාරකමකි"

තිස් වසරක ආයුධ සන්නද්ධ අරගලයෙන් පසු ශ්‍රී ලංකාව වාර්ගික සබඳතා ගොඩනගමින් සංහිඳියාව කරා පියමං කිරීමේ ප්‍රයත්නයක යෙදී සිටින බව සඳහන් කරන මානව හිමිකම් කොමිෂන් සභාව එවන් ක්‍රියාදාමයක් තුළ තම ප්‍රියයන්ගේ විප්‍රයෝගය පිළිබඳ ශෝක වීම සහ ඔවුන් අනුස්මරණය කිරීම සඳහා අවකාශය සහ හැකියාව සියලු ප්‍රජාවන් සතු වීමේ වැදගත්කම පෙන්වා දෙයි.

"අනුස්මරණය වූ කලී සංහිඳියා ක්‍රියාදාමයෙහි වැදගත් හා අනුකූලනිත ක්‍රියාකාරකමකි"

යුද්ධයේ දී මරණයට පත් වූ හමුදා සොල්දාදුවන් සිහිපත් කිරීම සඳහා රට තුළ ස්මාරක ගණනාවක් ස්ථාපිත කර ඇති බවත් එපරිද්දෙන් ස්වකීය පවුලේ සාමාජිකයන් සහ ප්‍රියයන් සැමරීම සඳහා ස්මාරක තැනීමේ අයිතිය සියලුම ප්‍රජාවන් සතු විය යුතු බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර