පුත්තලමේ 'ජල මූලාශ්‍ර හිඳිලා'

නියඟය
Image caption ජලය සිඳුණු ලිඳක්

මාස හයක පමණ සිට පවතින දැඩි නියඟය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහතුනක ජනතාව පීඩාවට පත්ව ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්එච්එම් චිත්‍රානන්ද පවසයි.

දිස්තික්කයේ ප්‍රදේශ රැසක ජල මූලාශ්‍ර සිඳී යාමේ ප්‍රතිඵලයක් වශයෙන් පානීය ජල හිඟය උත්සන්න වී ඇති බව වාර්තාකරුවෝ පවසති.

මේ වන විට කාක්කපල්ලිය ජල යෝජනා ක්‍රමයෙන් ජලය නිකුත් කිරීම සතියට දින තුනකට සිමා කර ඇති අතර හලාවත ජල යෝජනා ක්‍රමයෙන් ජලය බෙදා හැරීම මුළුමනින්ම අක්‍රමවත් වී තිබේ. මේ ජල යෝජනා ක්‍රම දෙකෙන්ම නිකුත් කරන ජලය ඇතැම් දිනවල පානය කළ නොහැකි බව ප්‍රදේශවාසීහු පවසති.

'නීති ප්‍රමාණවත් නෑ'

ප්‍රදේශයේ දැඩි ජල හිඟයක් පවතින අතරවාරයේ, භූගත ජලය මහා පරිමාණයෙන් වෙනත් ප්‍රදේශ වලට විකිණීම හා ජලය බෝතල් කිරීමේ කර්මාන්ත ශාලා කීපයක් ආරම්භ කර ජල මූලාශ්‍ර විනාශ කිරීමට උත්සාහ දරන බවට ප්‍රදේශවාසීහු ව්‍යාපාරිකයන්ට චෝදනා කරති.

Image caption ජලය බෝතල් කිරීමේ කර්මාන්ත ශාලා කීපයක් ආරම්භ කර ජල මූලාශ්‍ර විනාශ කිරීමට උත්සාහ දරන බවට ප්‍රදේශවාසීහු ව්‍යාපාරිකයන්ට චෝදනා කරති

බීබීසී සිංහල සේවය මේ පිළිබඳව කළ විමසීමකදී ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා කියා සිටියේ ජල කළමනාකරණය සම්බන්ධයෙන් දැනට පවතින නීතිරීති ප්‍රමාණවත් නොවන බවය.

පරිසරවේදී, නීතිඥ ජගත් ගුණවර්ධන ඒ පිළිබඳව අදහස් දක්වමින්: "දැනට ජලය සම්බන්ධයෙන් පවතින්නේ, ස්වභාවික සම්පත් ආරක්ෂා කරගැනීම පිළිබඳව වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිහත්වන ව්‍යවස්ථාවේ දාහතරවෙනි අනු ව්‍යවස්ථාවේ සඳහන් කරුණු තමයි," යනුවෙන් සඳහන් කළේය.

මෙහි පැහැදිලිවම කියල තියනවා, ස්වභාවික සම්පත් රජය විසින් ප්‍රජාවගේ යහපත සඳහා සංරක්ෂණය කිරීම, ආරක්ෂා කිරීම සහ සංවර්ධනය කිරීමට කටයුතු යෙදිය යුතූයි කියල. ඒ අනුව රජයට හා ඊට අදාළ රජයේ ආයතනවලට විශේෂ යුතුකමක් වගකීමක් තියනවා, ජලය පොදු සම්පතක් ලෙස සලකලා එක පාර්ශවයකට පමණක් අයුතු ලාභ ලැබීමටත් අනෙකුත් පාර්ශවයනට අයුතු හිඟයක් ඇතිවීම වැළැක්වීමට."

නළ ලිං හේතුවෙන් බරපතල පරිසර විනාශයක් සිදු වෙන බවත් නීතිඥ ජගත් ගුණවර්ධන පෙන්වා දෙයි.

"මේ නිසා සිදුවන පළමුවෙනි දේ තමයි ප්‍රදේශයේ භූගත ජලය සිඳී යාම. ඒ වගේම එම ජලය ලබා ගෙන ජීවත්වෙන ජනතාවගේ අවශ්‍යතා වලට ජලය හිඟවීම. මේ විදිහට ජලය ලබා ගත්තම නැවත ජලය පිරීමක් වෙන්නේ මන්දගාමීව. මේ නිසා පස් තට්ටු වේලී යනවා," ඔහු වැඩිදුරටත් පැවසීය.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර