මුස්ලිම් ප්‍රහාර: යළි ගැටුම් ඇතිවීමට ඉඩ තබන්නේ නෑ - අමාත්‍ය මණ්ඩලය

  • 2017 ජුනි 14
ඇල්පිටියේ විනාශ කෙරුණු මුස්ලිම් සාප්පුවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ පවතින වර්තමාන ආණ්ඩුව ශ්‍රී ලංකාවේ යළිත් වරක් ගැටුම් ඇතිවීමට ඉඩ නොතබන අතර, ජාතීන් අතර සංහිඳියාව වෙනුවෙන් කැප වෙන බව සම්මුතිවාදී ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය අවධාරණය කරයි.

විශේෂයෙන්ම මුස්ලිම් කඩසාප්පු, ආගමික ස්ථාන සහ නිවාස ඉලක්ක කරගනිමින් පසුගියදා එල්ල වූ ප්‍රහාර දැඩිව හෙලා දකින බවත් අමාත්‍ය මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එමෙන්ම එම ප්‍රහාරවල ප්‍රතිඵලයක් ලෙසින් සිදු වී ඇති දේපල හානි, ජීවනෝපාය අහිමිවීම මෙන්ම ඔවුන්ට ඇති වූ මානසික පීඩනය පිළිබඳව කණගාටුවන බවත් කැබිනට් මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

සංහිඳියාව සහ සාමකාමී සහජීවනය පිණිස මෙන්ම නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම පිණිසද කැප වී සිටින බවත් ආණ්ඩුව අවධාරණය කරයි.

එබැවින් ප්‍රචණ්ඩ ක්‍රියා අවුළුවන සහ වෛරී ප්‍රකාශ සිදුකරන පුද්ගලයන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන මෙන් උපදෙස් දී ඇති බවත් කැබිනට් මණ්ඩලය නිකුත් කළ විශේෂ නිවේදනයේ සඳහන් වේ.

මානව හිමිකම් කොමිසම

මුස්ලිම් ආගමික සහ ව්‍යාපාරික ස්ථාන ගණනාවකට පසුගිය සති කිහිපය තුළ ප්‍රහාර එල්ල වූ අතර, එවැනි ප්‍රහාර හතරකට සම්බන්ධවූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා බොදු බල සේනා සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු බව පොලිසිය පවසයි.

සැකකරු ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් සමඟ "කිට්ටු සම්බන්ධකම්" පැවැත්වූ අයෙකු බව ද පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

එහෙත් එම චෝදනාව තරයේ චෝදනා බැහැර කරමින් ප්‍රකාශයක් නිකුත් කරන බොදු බල සේනා විධායක අධ්‍යක්ෂ ඩිලන්ත විතානගේ පවසන්නේ, බොදු බල සේනා කාර්යාලයට හෝ එහි සාකච්ඡා ආදියට සහභාගී වෙන පුද්ගලයන් තම සංවිධානයේ සාමාජිකයන් නොවන බවය.

මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගෙන එල්ලවෙමින් තිබෙන මෙම ප්‍රහාර ආණ්ඩුවට එරෙහිව දියත්වන කුමන්ත්‍රණයක් බව ජාතික භාෂා පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් පසුගියදා බීබීසී සිංහල සේවයට පැවසීය.

මුස්ලිම් ප්‍රජාව ඇතුළු සුළුතර ප්‍රජාවන් ඉලක්ක කර ගත් වෛරී සහ ප්‍රචණ්ඩකාරී කථන ප්‍රචාරය කිරීමට පොළඹවන සහ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන පුද්ගලයන්ට විරුද්ධව පියවර ගැනීමට කටයුතු කරන මෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මේ අතර ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයට සහ පොලිස්පතිවරයාට කඩිනම් නියෝග නිකුත් කරන මෙන් ද ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් කොමිසම ඉල්ලා සිටියේය.