කසළ කළමනාකරණයට හමුදාව?

Image copyright Ravi Yasas/Twitter
Image caption පසුගිය දින කිහිපය තුළ කොළඹ නගරයේ ස්ථාන ගණනාවක කුණු එක්රැස්වී තිබෙනු දක්නට ලැබුණි

ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය යොදවා කසළ කළමනාකරණය කිරීමේ තාවකාලික වැඩපිළිවෙළක් ආරම්භකරන ලෙස ජනාධිපතිවරයාගෙන් තමන් ඉල්ලීමක් කළ බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

කසළ කළමනාකරණය විධිමත් නොවීම ඩෙංගු රෝගය ව්‍යාප්තවීම සඳහා බලපා ඇති බැවින් තාවකාලික විසඳුමක් ලෙස ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර සති දෙකක කාලයක් ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය යොදවා කසල කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය.

"කොළඹ නගරයේ ඇතැම් ස්ථානවල තවමත් කසළ ගොඩගැසී ඇති අයුරු දක්නට ලැබෙනවා. පසුගිය රජය සමයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කසළ කළමනාකරණය සහ නගර පවිත්‍ර කිරීම් සිදු කළේ ත්‍රිවිධ හමුදාව යොදවමින්. ඒ ආකාරයට ත්‍රිවිධ හමුදාව යොදවා කසළ කළමනාකරණය සහ පවිත්‍ර කිරීමේ කටයුතු ආරම්භ කළ යුතු බව මම ජනාධිපතිවරයාට යෝජනා කළා." යනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසූ බව එම නිවේදනයේ සඳහන් වෙයි.

කොළඹ කුණු

Image copyright Ravi Yasas/Twitter

වර්ගීකරණය නොකළ කුණු භාර ගැනීම කොළඹ නගර සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ කොළඹ නගරයේ ස්ථාන ගණනාවක කුණු එක්රැස්වී තිබෙනු දක්නට ලැබුණි.

කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා ඊයේ (ජුනි 14) මාධ්‍යයට පවසා තිබුණේ අද දිනය වනවිට එම කුණු ගොඩවල් ඉවත් කිරීමට කටයුතු කරන බවය.

නිසි ලෙස වර්ගීකරණය නොකරන ලද කසළ මග දෙපස දමන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට අද සිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකවන බවද කොළඹ නාගරික කොමසාරිස් වී කේ අනුර ප්‍රකාශ කර තිබුණි.

දැඩි නීතිමය කි‍්‍රයාමාර්ග

මේ අතර කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳ විශේෂ රැස්වීමක් ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවැත්වුණු අතර පළාත් පාලන ආයතන විසින් තෝරා ගනු ලැබූ ස්ථානවලට කසළ බැහැර කිරීමේදී එම කටයුතුවලට බාධා පමුණුවන පිරිස්වලට එරෙහිව දැඩි නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා එහිදී පොලිසියට නියෝග කොට තිබුණි.

කසළ වර්ගීකරණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට පුළුල් වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

පුත්තලම, අරුවක්කාරු ප්‍රදේශයේ කසළ බැහැර කිරීමේ අංගනය ඉදිකිරීම වෙනුවෙන් මේ වසරේ රුපියල් මිලියන 2,000 ක මුදලක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කර තිබේ.