ඩෙංගු ශීඝ්‍රයෙන් පැතිරෙයි; පිරිසිදු කිරීමේ පැය ඇරඹෙයි

  • 2017 ජුනි 16
Image caption සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති "පිරිසිදු කිරීමේ පැය"

"පිරිසිදු කිරීමේ පැය" ආරම්භ කරමින් අද (ජුනි 16) රට පුරා රජයේ ආයතනය රැසක පරිශ්‍ර පිරිසිදු කිරීම සිදු විය.

සෑම සතියකම සිකුරාදා පෙරවරු 9.30 සිට 10.30 දක්වා පැයක කාලය නිවාස, රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන "පිරිසිදු කිරීමේ පැය" ලෙස ජනාධිපති ඩෙංගු කාර්ය සාධක බලකාය විසින් නම් කරනු ලැබ තිබේ.

පුද්ගලික ආයතන හා නිවාස පරිශ්‍ර ද මෙම පැය තුළ පිරිසිදු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේවනවිට ඩෙංගු රෝගීන්ගෙන් කොළඹ ප්‍රධාන පෙළේ රෝහල් රැසක් පිරී පවතින බවත් ඇඳන් 180ක් සහිත අංගොඩ උණ රෝහලේ රෝගීන් 400කට අධික ප්‍රමාණයක් ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඊයේ මාධ්‍ය වාර්තා කර තිබුණි.

එම රෝහලට තවත් ඇඳන් ලබාදීමට මේවන විට කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේය.

Image caption ඌව ආණ්ඩුකාරවරයාගේ කාර්යාල පරිශ්‍රයේ පැවති "පිරිසිදු කිරීමේ පැය"

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද අබේවික්‍රම මාධ්‍යයට පවසා තිබුණේ ඉතාම විශාල වශයෙන් ඩෙංගු රෝගය පැතිරෙන තත්වයක් ඇති බවය.

"වහාම කවුරුත් එකතුවෙලා කටයුතු කළේ නැත්නම් මේක බරපතළ ව්‍යසනයක් බවට පත්වෙන්න පුළුවන්" යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

2017 වසරේ ගතවූ කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 62,000ක් වාර්තා වී ඇති අතර ඉන් 177 දෙනෙකු මිය ගොස් තිබේ.

2015 වසරටම වාර්තාවී තිබුණේ රෝගීන් 50,000 කට ආසන්න පිරිසක් පමණි.

මෙවර ඩෙංගු රෝගීන් වැඩිම පිරිසක් වාර්තාවන්නේ බස්නාහිර පළාතෙනි.

ඇතිවූ ගංවතුර තත්වය සමග ඩෙංගු රෝගය දැඩි ලෙස පැතිරෙනු ඇති බවට සේව් ද චිල්ඩ්රන් (Save the Children) පුණ්‍යායතනය අනතුරු අඟවා තිබුණි.

ඩෙංගුකාරක මදුරුවන් සාමාන්‍යයෙන් උදෑසන 6 පමණ සිට 9 පමණ වනතෙක් සහ සවස 4 සිට රාත්‍රි 7 පමණ වනතෙක් දෂ්ඨ කිරීම සිදුවන බැවින් විශේෂයෙන් මෙම කාලය තුළ මදුරුවන්ගෙන් ආරක්ෂාවන ලෙස සෞඛ්‍ය බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

විශේෂයෙන්ම කුඩා දරුවන් කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව ඔවුහු පවසති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර