ජාතික ලොතරැයි මණ්ඩලය විදේශ ඇමතිට පැවරීම නීති විරෝධීද?

  • 2017 ජුනි 19
රවී කරුණානායක Image copyright Getty Images
Image caption කැබිනට් සංශෝධනයෙන් අනතුරුව ජාතික ලොතරැයි මණ්ඩලය විදේශ අමාත්‍යාංශය යටතට පැවරුණි

ජාතික ලොතරැයි මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍යවරයා යටතට පත්කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ නීතිමය දෝෂ පවතින බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි.

ජනාධිපතිවරයා විසින් පසුගියදා සිදු කරන ලද කැබිනට් සංශෝධනයේදී එතෙක් මුදල් ඇමති පදවිය හෙබැවූ රවි කරුණානායක මන්ත්‍රීවරයා විදේශ කටයුතු ඇමතිවරයා වශයෙන් පත්කරන ලද අතර, එවකට විදේශ කටයුතු ඇමතිවරයා වූ මංගල සමරවීර මන්ත්‍රීවරයා මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත්කරන ලදි.

ඉන් අනතුරුව ව්‍යවස්ථාවේ 43 වන වගන්තිය ප්‍රකාර නව අමාත්‍යවරුන්ට අදාළ ආයතන ගැසට් කිරීමේදී ජනාධිපතිවරයා විසින් ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයිය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ විෂය පථය යටතට පත්කරනු ලැබ තිබේ.

එහෙත් ජාතික ලොතරැයි මණ්ඩලය ස්ථාපනය කෙරුණු 1963 වර්ෂයේ සම්මත වූ මුදල් පනත ප්‍රකාර ලොතරැයි මණ්ඩලය භාර අමාත්‍යවරයා ලෙස නිර්වචනය කර ඇත්තේ මුදල් විෂය භාර අමාත්‍යවරයා බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය පෙන්වා දෙයි. 1997 සහ 1998 වර්ෂවලදී එම පනත සංශෝධනයට ලක් වූ නමුත් අදාළ විධිවිධානය එලෙසම පවතී.

"රාජ්‍ය ආයතන පෞද්ගලික බූදලයක්"

එසේ "නීතියට පටහැනිව" ජාතික ලොතරැයි මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍යංශය යටතට පත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය පිළිබඳව කණගාටුව පළකරන එම ආයතනය එය නැවත මුදල් අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතට පත් කර මෙම "ව්‍යාකූල තත්වය" නිරවුල් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

"එම පියවර ගැනීමෙන්, අමාත්‍යවරුන් රාජ්‍ය ආයතන තමන්ගේ පෞද්ගලික බූදලයක් සේ භුක්ති විඳින බවට ජනතාව අතර මතුවී තිබෙන මතය දුරු කළ හැකි වනු ඇත," යනුවෙන් එම ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

Image copyright NEWSFIRST
Image caption එම පනතට යටත්ව ආයතනය අභිනියෝජනය කිරීමේ හැකියාව ජනාධිපතිවරයාට තිබෙනවා - නීතිඥ ශිරාල් ලක්තිලක

"පවතින නීතිය යටතේ, එනම් මුදල් පනතේ නිර්වචනයන් පරිදි, ජාතික ලොතරැයි මණ්ඩලය මුදල් හා මාධ්‍ය ඇමති මංගල සමරවීර මහතාගේ අධීක්ෂණය යටතට පත් කළ යුතුයි."

මේ පිළිබඳව බීබීසී සිංහල සේවය ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක ගෙන් විමසීමක් කළ අවස්ථාවේ ඔහු කියා සිටියේ ඕනෑම ආයතනයක් ඕනෑම අමාත්‍යාංශයක් යටතට පත්කිරීමට ජනාධිපතිවරයාට නිල වශයෙන් බලය තිබෙන බවය.

"සදාචාරය පිළිබඳ ගැටලුවක්"

ජනාධිපතිවරයා ඒ සම්බන්ධ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කළ මොහොතේ සිට එය රටේ නීතිය බවට පත්වන බව සඳහන් කළ ඔහු, එබැවින් එය සංශෝධනය නොකෙරෙනු ඇති බවත් පැවසීය.

කෙසේ නමුත් සිය විෂය පථයට අයත් නොවූ ආයතන පවරා ගැනීම සම්බන්ධයෙන් දේශපාලනඥයන් හමුවේ "සදාචාරය පිළිබඳ ගැටලුවක්" මතුවන බව සඳහන් කළ නීතිඥ ශිරාල් ලක්තිලක, රටේ ජනතාව හමුවේ "බුද්ධිමය ගැටලුවක්" මතුවන බවත් සඳහන් කළේය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
ඇමතිකම් බෙදීමේ 'විද්‍යානුකූලභාවය' ගැන ආණ්ඩුවේ විග්‍රහය

මෙය "බල දේශපාලනයේ ප්‍රතිඵලයක්" බව පවසන ඔහු එබැවින් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට චෝදනා කිරීම අසාධාරණ බව වැඩිදුරටත් පැවසීය.

කෙසේ නමුත් විධිමත් ජාතික ප්‍රතිපත්ති ව්‍යාපාරය යටතේ ආණ්ඩුව ස්ථාපිත කළ යුතු අමාත්‍යාංශ සහ එම අමාත්‍යාංශ යටතේ පැවැත්විය යුතු ආයතන සම්බන්ධයෙන් මහාචාර්ය සිරි හෙට්ටිගේ විසින් 2015 වසරේ මුල් භාගයේදී සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කළ බව සිහිපත් කරන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය, අමාත්‍ය මණ්ඩල ප්‍රධානියා ලෙස මෙවැනි දෝෂ නිවැරදි කිරීම ජනාධිපතිතුමාගේ වගකීමක් බව අවධාරණය කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර