කොළඹ කුණු ගොඩගැහෙන්නේ ඇයි ?

කොළඹ නගර සීමාව තුළ කුණු ඉවත්කිරීම පසුගිය දින කීපයේ අඩාල වීමත් සමග ස්ථාන රාශියක කුණු ගොඩවල් දක්නට ලැබුණි.

කුණු බැහැර කිරීමේ දී ඒවා වර්ග කර තබන ලෙස නගරවාසීන්ට උපදෙස් දී ඇතත් එසේ නොකොට කුණු බැහැර කිරීම ඉහත කී තත්වය උද්ගත වීමට හේතු වී ඇතිබව කොළඹ මහ නගර සභාව පවසයි.

කොළොඹ නගර සභාව කුණු එකතු කිරීම නිසි ලෙස සිදු නොකරන බවට නගරවාසීහු චෝදනා කරති.

ප්‍රදේශ කීපයක ගොඩ ගැසී තිබුණ කුණු ඉවත් කිරීමට කොළඹ නගර සභාව පසුගිය සති අන්තයේ පියවර ගත් නමුත් අදත් (ජූනි 19) මරදාන, සහ දෙමටගොඩ වැනි ස්ථාන කීපයක කුණු ගොඩවල් දක්නට ලැබුණි.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
කසල වෙන් කරන්නේ නැතුව පාරට දාන්න එපා!

"අපි රාත්‍රියේ කුණු ඉවත් කරනවා . ඒත් උදේ පාන්දර දෙකට තුනට පවා කුණු ගෙනත් දානවා, ඒකයි ගැටළුව" කුණු ගොඩ ගැසෙන්නේ ජනතාවගේ වරදින් බව පවසන කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් වී.ඒ.කේ. අනුර කියා සිටියි.

"දිරා පත්වන හා දිරපත් නොවන කුණු වර්ග කර වෙන් වෙන් වශයෙන් තබන ලෙස ජනතාවගෙන් කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබෙමින් ඇති බවත් කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා බීබීසියට ප්‍රකාශ කළේය.

"නගර සභාව දිනකට එකතු කරන මෙට්‍රික් ටොන් 800 ක් විතර වෙන කසල ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් 500 ක් විතර තෝරා බේරා ගන්න පුලුවන් ආකාරයට මහජනතාව ඒවා ලෑස්ති කරලා තියනවා" ඔහු වැඩිදුරටත් පවසයි.

"ඒ අතරවාරයේ ඇතැමුන් කසළ තෝරන්නේ නැතුව මහපාරට දානවා, ඒවා වර්ගීකරණය කරලා නැහැ. ඒක වරදක්"

එපරිද්දෙන් කුණු කසල දමන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මක වෙන බවත් කොළඹ නාගරික කොමසාරිස්වරයා අවධාරණය කරයි.

Image caption කරදියාන කුණු කන්ද

මරදාන හා දෙමටගොඩ යන ප්‍රදේශවල කුණු කසල එකතු කිරීමේ ලොරිවල සේවකයන් කුණු වර්ගීකරණය නොකර බාරදෙන ජනතාව සමග බහින්බස් වෙන ආකාරය අද (19) එම පළාතේ සංචාරය කළ බීබීසී කොළඹ වාර්තාකරුට දක්නට ලැබුණි.

පොලිතින් වැනි දෑ ඉවත්කර බාරදෙන ලෙස ජනතාවට දැනුම් දී තිබුනත් ඔවුන් එසේ නොකරන නිසා තමන් දැඩි අපහසුතාවයට පත්වන බව එම සේවකයෝ පෙන්වා දෙති.

"නියමිත විධියට වර්ග නොකරපු කුණු කසල අපි ගිහිල්ලා දුන්නම මධ්‍යස්ථානයෙන් ඒවා හරවල යවනවා . එතකොට ඒවා වර්ග කරන්න අපට සිද්ධ වෙනවා" කුණු එකතු කිරීමේ අංශයේ සේවකයෙක් පැවසීය.

Image caption කුණු පරිසරයට සහ සෞඛ්‍යයට හානිකර මට්ටමින්

කුණු වෙන්කර තබා ගැනීමට තරම් ප්‍රමාණවත් ඉඩකඩ තමන්ට නොමැති බව මරදාන, දෙමටගොඩ වැනි ප්‍රදේශවල කුඩා නිවෙස්වල ජිවත්වන ජනතාව පවසති.

" අපට කුණු තියාගන්න ඉඩක් නැහැ. කුණු වර්ග කරලා දෙන්න පුළුවන්. හැබැයි, දවස් තුන හතරකට වතාවක් නොවෙයි, හැමදාම ඇවිල්ල ගන්න ඕන" එම ජනතාව පෙන්වා දෙති.

පාරේ දමා යන කුණු වර්ග කර නොමැති නිසා තමන් ඒවා ඉවත් නොකරන බව මරදාන පාරේ සහ දෙමටගොඩ පාරේ කුණු එකතු කරන්නෝ කියා සිටිති.

මේ අතර තවත් මාසයක් ගත වන විට ජනතාව කුණු වර්ග කිරීමේ වැඩ පිළිවෙලට පුරුදු කර ගැනීමට හැකි වනු ඇතැයි කොළඹ මහ නගර සභාවේ කොමසාරිස්වරයා විශ්වාසය පළ කරයි.

Image copyright Raviyasas/twitar
Image caption මහපාරේ කුණු

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමේ ඛේදවාචකයෙන් පසු ඇති වූ කුණු කළමනාකරණ වැඩපිළිවෙල නිසා දැන් කොළඹ නගරයට දිනකට එකතු වෙමින් තිබුණ ටොන් 1000ක් පමණ වන කුණු ප්‍රමාණය ටොන් 650ක් දක්වා අඩුවී ඇති බවත් නාගරික කොමසාරිස්වරයා පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර