අස්ගිරි පාර්ශ්වයෙන් ආණ්ඩුවට අවවාදයක්

Image caption වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහනාහිමි

"ගලගොඩ අත්තේ ඥානසාර භික්‍ෂුවගේ ආවේගකාරී හැසිරීම් රටාව සහ අදහස් ප්‍රකාශන ශෛලිය කිසිසේත් අනුමත නොකරන නමුත් උන්වහන්සේගේ මතවාදය බැහැර නොකරන" බව මහනුවර අස්ගිරි මහා විහාරයේ කාරක සංඝ සභාව විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙයි.

ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත සිදු කරන දැනුම් දීමක් හැටියට නිකුත් කරනු ලැබ ඇති අස්ගිරි කාරක සංඝ සභා නිවේදනය "ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඉදිරිපත් කරන කරුණුවල සත්‍යාසත්‍යභාවය සොයා පිළියම් කරනු වෙනුවට වාමාංශික යයි කියාගන්නා දේශපාලනඥයන් සහ සමාජ ක්‍රියාකාරීන් කිසිදු ගෞරවයකින් තොරව භික්ෂූන් වහන්සේලා විවේචනය කරමින් නමින් පමණක් ආමන්ත්‍රණය කිරීම" හෙළා දකින බව කියා සිටියි.

"බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමක් උන්වහන්සේගේ නමින් ඇමතිය හැක්කේ වැඩිහිටි භික්ෂුවකට පමණක්" බවත් අස්ගිරි පාර්ශවයේ මහානායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නාහිමියන්ගේ අත්සනින් නිකුත් කරනු ලැබ ඇති ඉහත කී නිවේදනය පෙන්වා දෙයි.

"ජාතිවාදී හැඟීම් අවුස්සන ඇතැම් දේශපාලනඥයන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නා රජය ඊට ප්‍රතිචාරය පළ කරන භික්ෂූන් වහන්සේලා නිහඬ කිරීමට උත්සාහ දරන බව" පවසන අස්ගිරි නිවේදනය එම තත්වය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරන අතරවාරයේ ඉදිරි කාලයෙහි රට තුළ නොසන්සුන් තත්වයක් නිර්මාණය වුනොත් ඊට රජය වගකිව යුතු බවත් අවධාරණය කරයි.

දැනට පවතින නීති රීති වෙනස් කිරීමට යාම අර්බුදකාරී සමාජ වටපිටාවක් නිර්මාණය වීමට හේතු වී ඇති බව පවසන එම නිවේදනය, පවතින නීතියේ වරදක් වේනම් ඒ ගැන සාකච්ඡා කරමින් තීරණයකට එළඹිය යුතු බවත් දැනට පවතින නීතිරීති ගැටුම්කාරී තත්වයන් පාලනයට ප්‍රමාණවත්ය යන්න සිය වැටහීම බවත් කියා සිටියි.

"ජාතික සංහිඳියාවට මුවාවී සිදු කෙරෙන රක්ෂිත සහ ඒ ආශ්‍රිත ඉඩම් කොල්ලයක්" ඇතැයි පවසන අස්ගිරි නිවේදනය,එම "ඉඩම් කොල්ලය" මෙන්ම උතුරු-නැගෙනහිර පුරාවස්තු විනාශය නතර කිරීමටත් රජය කටයුතු කළයුතු බව පවසයි.

බුදුදහම සහ බෞද්ධ සංස්කෘතිය විකෘති කෙරෙන ප්‍රකාශන පාලනය කිරීම සඳහා රජය විසින් කෙටුම්පත් කරනු ලැබ ඇති 'බෞද්ධ ප්‍රකාශ නියාමන පනත් කෙටුම්පත' වහාම සම්මත කිරීමට පියවර ගන්නා ලෙසත් අස්ගිරි සංඝ සභාව රජයෙන් ඉල්ලා සිටියි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර