බ්‍රහස්පතින්දා වෛද්‍ය වැඩ වර්ජනයක්

Image copyright Getty Images
Image caption වෛද්‍ය වර්ජනයකින් පාළුවී ගිය රෝහලක්

බ්‍රහස්පතින්දා (ජූනි22 )උදෑසන අටේ පටන් වෛද්‍ය වැඩවර්ජනයක් ආරම්භ කරන බව ආණ්ඩුවේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම වැඩ වර්ජනය සම්බන්ධයෙන් බීබීසිය කළ විමසීමක දී අදහස් දැක්වූ ආණ්ඩුවේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද, බදාදා (ජූනි 21) සයිටම් විරෝධී සිසුන්ට එල්ල කරන ලද පොලිස් ප්‍රහාරයට විරෝධය පළ කිරීමට සහ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මුල්කර ගනිමින් මතු වී ඇති අර්බුදය විසඳීමට ආණ්ඩුව කඩිනමින් කටයුතු නොකිරීමට එරෙහිව එම වැඩ වැරුම කැඳවන ලද බව කියා සිටියේය.

රටපුරාම ඩෙංගු වසංගතය පැතිර යමින් තිබියදී මෙවැනි වැඩ වැරුමකට යාම නිසා රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින ඩෙංගු රෝගීන් මුහුණ දෙන තත්වය කුමක්දැයි බීබීසිය විමසූ විට ඊට පිළිතුරු දුන් වෛද්‍ය සමන්ත ආනන්ද, වර්ජනය බල පැවැත්වෙන කාලය තුළත් ඩෙංගු රෝගීන්ට නොකඩවා ප්‍රතිකාර කරන බව සඳහන් කළේය.

Image copyright Getty Images
Image caption වෛද්‍යවරුන් නොමැතිව

බ්‍රහස්පතින්දා මධ්‍යාහ්න දොළහට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව රැස්වෙන අතර වර්ජනය කොතෙක් කාලයකට බල පැවැත්වෙන්නේද යන්න සහ එහි ඉදිරි ක්‍රියාමාර්ග එම හමුවේදී තීන්දු කරන බව වෛද්‍ය සමන්ත ආනන්ද කියා සිටියේය.

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය බදාදා දියත් කළ විරෝධතාව විසුරුවා හැරීමේදී තුවාල ලැබූ සිසු සිසුවියන් අසූ දෙනෙකු පමණ රෝහල් ගත කරනු ලැබුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර