කුවේටයේදී 'දිවි නසාගත්' ශ්‍රී ලාංකික කාන්තාවගේ මරණය 'සැකයි'

මැද පෙරදිගදී හිංසනයට ලක්ව යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනුණු ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවෝ
Image caption මැද පෙරදිගදී හිංසනයට ලක්ව යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනුණු ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවෝ

කුවේටයේ ගෘහ සේවයේ නිරතව සිටියදී පසුගිය සතියේ "සිය දිවි නසාගත්" බව බලධාරීන් පවසන සිය දියණියගේ මරණය සැක සහිත බව පවසන ඇයගේ මව ඒ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වන මෙන් ශ්‍රී ලංකා පොලිසියෙන් ඉල්ලා සිටියි.

හලාවත වාසී දෙදරු මවකවන සිරන්ජි සිරියාවතී ප්‍රනාන්දු එල්ලී සිය දිවි නසාගෙන ඇති බව ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් ඇයගේ මවට දැනුම් දී තිබේ.

එහෙත් සිය දියණිය සිය දිවි නසාගත්තේ යයි ඇයගේ මව, කේ සුමනාවතී, විශ්වාස නොකරන බව හොංකොං මූලස්ථාන කරගත් ඒඑච්ආර්සී ආසියානු මානව හිමිකම් කොමිසම (AHRC) පවසයි.

2014 දෙසැම්බරයේ කුවේටයේ ගෘහ සේවය සඳහා පිටත්ව ගිය අවස්ථාවේ පටන් සිය දියණිය නිවෙස් හිමියන්ගේ අතවර පිළිබඳව පැමිණිලි කළ බව පවසන ඇයගේ මව, ඒ පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි කරන මෙන් සිය දියණිය කිහිපවතාවක්ම ඉල්ලා සිටි බවත් සඳහන් කරයි.

සිරන්ජි සිරියාවතී ප්‍රනාන්දු ගේ මරණය සම්බන්ධයෙන් ආසියානු මානව හිමිකම් කොමිසම විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන්වන පරිදි දිගින් දිගටම හිරිහැර කිරීමෙන් නොනැවතී ඇය මරා දමන බවට සිරන්ජි ගේ හාම්පුතා තර්ජනය කර තිබේ.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
මැද පෙරදිග රටවලදී හිංසනයට ලක්වූ ගෘහ සේවිකාවන් යළි දිවයිනට

හාම්පුතා පමණක් නොව ඔහුගේ පවුලේ සාමාජිකයන් ද ඇය මරා දමන බවට තර්ජනය කිරීම හේතුවෙන් පසුගිය ජුනි 10 වෙනි දින "භීතියෙන් තැති ගැනී" තමන් ඇමතූ දියණිය සිය ජීවිතය බේරා දෙන මෙන් බැගෑපත්ව ඉල්ලා සිටි බවත් කේ සුමනාවතී පවසයි.

දියණියගේ ඉල්ලීම පරිදි කොළඹ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ගොස් හැකි ඉක්මනින් සිය දියණිය නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා දෙන මෙන් මව ඉල්ලීමක් කළ බවත් මානව හිමිකම් සංවිධානය පවසයි.

සිරන්ජි ප්‍රනාන්දු "සිය දිවි නසාගෙන" ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සුමනාවතී වෙත දැනුම් දී තිබෙන්නේ ඉන් දින කිහිපයකට පසුවය.

එම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන සුමනාවතී සිය දියණියගේ මරණය පිළිබඳව ශ්‍රී ලංකාවේදී පූර්ණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව අවධාරණය කරන්නීය.

දියණිය යළි සියරට ගෙන්වා දෙන මෙන් තමන් කළ බැගෑපත් ඉල්ලීම නොසලකා හරි බවට ඇය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ද චෝදනා කරන්නීය.

සිරන්ජි සිරියාවතී ප්‍රනාන්දු ගේ මරණය පිළිබඳව වැඩිදුර කරුණු විමසීම පිණිස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇමතීමට බීබීසී සිංහල සේවය දැරූ උත්සාහය සාර්ථක නොවීය.