ගංවතුර සහ නාය යාම්: ආපදාවට ලක්වූවන්ට මොකද වුණේ?

ගංවතුර Image copyright Getty Images
Image caption ගංවතුර සහ නාය යාම් සිදුව අදට මසක් ගතව ඇත

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක ගණනාවක 213 දෙනෙකුට මරු කැඳවමින් හටගත් ගංවතුර සහ නාය යාම් සිදුව අදට(ජුනි 26) මසක් ගතව ඇත.

ගංවතුර සහ නාය යාම්වලට හසුව අතුරුදහන් වූ පුද්ගලයන් සංඛ්‍යාව 76 කි.

ස්වභාවික ව්‍යසන හේතුවෙන් නිවාස 3,126 ක් සම්පුර්ණයෙන්ම විනාශවූ අතර තවත් නිවාස 21,573ට අර්ධ හානි සිදු විය.

දරුණු ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් දැඩි ලෙස විනාශයට පත්වූ බුලත්සිංහල, පාහියංගල ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්වය පිළිබඳව සොයාබැලීම පිණිස බීබීසී සිංහල සේවය කළ සංචාරයක් ඇසුරින් සකස් කළ වාර්තාවකි මේ.

"ඉස්සර මෙතනින් උදේ ඉඳල කට්ටිය යනවා. වැඩට යන අය, පන්ති යන අය, ඔක්කොම කථා කරලනේ යන්නේ. අද කවුරුත් නැහැ, ඉතින් හුඟක් කල්පනා කරනවා මොකක්ද මේ වුණේ කියලා, පළාතම නැති වුනා" 63 හැවිරිදි ජයලත් ආරච්චිලාගේ නිලමේ පැවසුවේ වේදනාවෙනි.

විනාශ වූ සිය නිවසට තරමක් දුරින් පිහිටුවා ඇති කුඩාරමක් ඉදිරිපස සිට තමන් ජීවත් වූ යටගම්පිටිය, ජයලත්ගොඩ ප්‍රදේශයට අත් වූ ඉරණම ගැන ඔහු ළතැවෙමින් සිටී.

"රෑට කුඩාරම්වල ඉන්න බැහැ"

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
"රෑට කුඩාරම්වල ඉන්න බැහැ"

ජයලත්ගොඩ පුද්ගලයන් 21 දෙනෙකුට මරු කැඳවමින් සිදු වූ දරුණු නාය යාමෙන් අනතුරුව මිය ගිය අයගේ සිරුරු හෝ නිවාස වල සුන්බුන් පවා තවමත් සොයා ගැනීමට නොහැකි වී තිබේ. දැන් මුළු ජයලත්ගොඩටම සිටින්නේ පවුල් කිහිපයක් පමණි.

මිය ගිය අයගෙන් බහුතරයක් ජයලත් ආරච්චිලාගේ නිලමෙගේ සහෝදර සහෝදරියන් සහ ඔවුන්ගේ ඥාතීහුය. නාය යාමෙන් දිවි බේරාගත්තේ ඔහුගේ පවුල සහ තවත් කිහිපදෙනෙකු පමණි.

"අපේ එක දුවෙකුගේ සිරුරක උඩ කෑල්ල හම්බවුනා. අපි ඒක ගොඩගත්තෙන් නැහැ, එතනම වහලා දැම්ම," ඔහු දොඩමලු වෙයි.

'මුළු පළාතම හිස්'

"අපිට හැමදේම තිබුණා. අද මොකුත් නැහැ. මේ කුඩාරමට වෙලා ජීවත්වෙනවා, බලන්න මේ පොඩි එවුන් දිහා, උන්ට නින්ද යන්නේ නැහැ මෙතන," යනුවෙන් ඔහු තමන්ට අත් වූ ඉරණම ගැන පැහැදිලි කරයි.

"ඕගොල්ලෝ ආවනේ මට හරි සතුටුයි. නැත්නම් මම අර පැත්තකට වෙලා අනේ අපිට වෙච්ච් දෙයක්, අනේ වෙච්ච දෙයක් කියල හිත හිත ඉන්නවා, මුළු පළාතම දැන් හිස්නේ."

කන්ද නායගොස් හටගත් ජල පහරින් කන්ද පහළ නිවාස 12ක් පමණ සම්පුර්ණයෙන්ම විනාශ විය.

"රෑ 4ට විතර සුනාමියක් වගේ වතුර රැල්ල ඇවිත් අපේ ගෙවල් සම්පුර්ණයෙන්ම විනාශ වුනා," නිවස තිබුණු ඉඩමේම කුඩාරමක ජීවත්වෙන ලසන්තිකා පැවසුවාය.

"මේ කුඩාරමේ ඉන්න බැහැ. අපි දවල්ට මේකේ ඉඳලා, රෑට කාගෙ හරි ගෙදරක ඉන්නවා."

ගිහාන් ලසන්තගේ නිවස ද සම්පුර්ණයෙන් විනාශයට පත්ව තිබේ. අප යනවිට ඔහු නිවස පිටුපස තේ වත්තේ දළු නෙළීම අවසන් කර තිබුණි.

"මාසෙකට විතර පස්සේ අදයි තේ දළු ටික නෙලන්න ගත්තේ. අපි දැන් ජීවත්වෙන්න කීයක් හරි හොයාගන්න එපාය," ඔහු පැවසුවේ තම කුඩාරම තුළ ඇති තේ දළු පෙන්වමිනි.

"අපිටත් අර අරනායක, සාලාව මිනිස්සුන්ට වගේ නොකර ඉක්මනට ඉන්න තැනක් හදල දෙන්න කියන්න රජයට. ග්‍රාමසේවක කියනවා හදල දෙනවා කියල ඒත් හරියට කියන්නේ නැහැ"

"අපි අසරණ වෙලා"

පාහියංගල ප්‍රදේශය නාය යාමත් සමග තවදුරටත් නාය යාමේ අවදානම පවතින ප්‍රදේශවල සිටි පවුල් දැන් එම ස්ථානවලින් ඉවත්කර තිබේ. එළෙස ඉවත් කෙරුණු ඇතැමුන් අය කුලී නිවාස වල වෙසෙන අතර තවත් සමහරුන්ගේ නිවහන නිග්ගහ ප්‍රාථමික පාසලය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
"අපි අසරණ වෙලා. ජීවිතේ තිත්ත වෙලා තියෙන්නේ"

"අපිට වීඩියෝවක් ගෙනල්ලා පෙන්නුවා. අපේ කන්ද පුපුරලා තියෙන විදිහ, ඒක දැක්කට පස්සේ අපි ගෙදර දාලා පාසලට ආව," එක් කාන්තාවක් පැවසුවාය.

"දැන් මෙතනින් යන්න කියනවා. පාසලටත් බාධාවක් නේ? ඒත් යන්න තැනක් නැහැ."

මෙම ජනතාවටද ඉඩම් හා නිවාස ලබාදෙන බව රජය පොරොන්දු වී තිබේ. තාවකාලිකව කුලී නිවාසවලට යන ලෙසත් කුලී මුදල් ගෙවන බවත් බලධාරීන් පවසා තිබේ.

"මෙහෙ කුලියට ගන්න ගෙවල් නැහැ. එහෙනම් බුලත්සිංහලෙන් එහාට යන්න ඕන. එතකොට ළමයි ඉස්කෝලේ යන්නේ මෙහෙ. මොනවා කරන්නද කියල හිතාගන්න බැහැ."

"එක වෙලාවකට හිතෙනවා, කන්ද නාය ගියත් කමක් නැහැ ගෙදරට ගිහිල්ල ඉන්නවා කියලා. මොකද මැරෙන්නේ එක පාරනේ. දැන් අපි මැරී මැරී ජීවත්වෙනවා මේ තැන්වල," යනුවෙන් ඇය සිය දුක්ගැනවිල්ල අවසන් කළාය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර