ලක්ෂාන් ඩයස් ගැන මගේ මතය ජනපතිත් අනුමත කරාවි - ඇමති විජේදාස

අමාත්‍ය විජේදාස රාජපක්ෂ
Image caption "ඔබ ඔය දැන් අහන ප්‍රශ්න ටික වුනත් එදා ඇහුව නම් සමහර වෙලාවට මේ රටේ හිටිය නම් ඔබටත් යන්න වෙන්නේ සුදු වෑන් එකේ"

රාජ්‍ය නොවන සංවිධාන සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් ශ්‍රී ලංකාව තුළ සංහිඳියා ක්‍රියාදාමයට බාධා කරන බවට තමන් කරන ප්‍රකාශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවා අනුමත කරන්නේ යයි විශ්වාස කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ බීබීසී සිංහල සේවයට පැවසීය.

තමන් කරන ප්‍රකාශ හා සමාන ප්‍රකාශ ජනාධිපතිවරයා විසින් ද කර තිබෙන බව පවසන අමාත්‍යවරයා, අගමැති රනිල් වික්‍රමසිංහ ද ළඟදීම එය අනුමත කරනු ඇතැයි විශ්වාසය පළ කළේය.

"ඒගොල්ලන්ගේ ආශීර්වාදය දෙයි ද, නැද්ද කියල මම දන්නේ නෑ. නමුත් මේ රටේ ස්වාධීනත්වය, සවෛරීභාවය, මේ රටේ ආරක්ෂාව පිළිබඳව මම දරන මතයේ තියෙන නිවැරදිභාවය ගරු ජනාධිපතිතුමා යම් යම් අවස්ථාවල එතුමාගේ අදහස විදියට ප්‍රකාශ කරලා තියෙනව."

සබැඳි යොමු:

අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට එරෙහිව දිගින් දිගටම එල්ල කරන තර්ජන සහ අපහාසාත්මක ප්‍රකාශ අනුමත නොකරන බව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා නිල වශයෙන් සඳහන් කළ යුතු බවට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ සංවිධාන ගණනාවක් කරන ඉල්ලීමට ප්‍රතිචාරය පළකරමිනි.

මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ රාජ්‍ය නොවන සංවිධානවල ගෞරවය ආරක්ෂා කිරීමට කටයුතු කරන මෙන් ද ඔවුහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල්ලා සිටිති.

Image caption අමාත්‍යවරයාගේ "තර්ජන" හේතුවෙන් නීතිඥ ලක්ෂාන් ඩයස් රට හැර ගොස් ඇති බව ජනමාධ්‍ය වාර්තා කරයි

සිවිල් සමාජ සංවිධාන 25 ක් සහ ක්‍රියාකාරීන් 72 ක් එම ඉල්ලීම කරන්නේ මානව හිමිකම් නීතිවේදී ලක්ෂාන් ඩයස් සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පසුගියදා කළ තර්ජනාත්මක ප්‍රකාශය ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමිනි.

'අවමානයක්'

2015 න් අනතුරුව ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි ආගමික ස්ථාන 160 ට වැඩි ප්‍රමාණයකට ප්‍රහාර එල්ල වී ඇතැයි නීතිඥ ලක්ෂාන් ඩයස් කළ ප්‍රකාශයකට ප්‍රතිචාරය පළ කළ අමාත්‍ය විජේදාස රාජපක්ෂ, නීතිඥවරයා එම ප්‍රකාශය පිළිබඳව සමාව ඉල්ලා නොසිටින්නේ නම් ඔහුගේ නීතිඥ පදවිය අහෝසි කිරීමට පියවර ගන්නා බව සඳහන් කර තිබුණි.

එහිදී ශ්‍රී ලංකාව තුළ ජාතීන් අතර සංහිඳියාව විනාශ කිරීමට උත්සාහ කරන බවට චෝදනා කරමින් අමාත්‍යවරයා රටේ සියලු මානව හිමිකම් සංවිධාන අවමානයට ලක් කළ බවට ද ඔවුහු චෝදනා කරති.

එහෙත් තමන් කිසිවෙකුටත් කිසිදු තර්ජනයක් එල්ල නොකළ බව බීබීසී සිංහල සේවයට පැවසූ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අවධාරණය කරන්නේ, සිය ආණ්ඩුවේ පාලන කාලය තුළ ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි දේවස්ථානවලට ප්‍රහාර එල්ලවීම පිළිබඳව වාර්තා වී තිබෙන්නේ සුළු සිදුවීම් හතරක් පමණක් බවය.

සබැඳි යොමු:

නීතිඥ ලක්ෂාන් ඩයස් එම ප්‍රකාශය කළේ ශ්‍රී ලංකාවේ ජාතික ඉවැන්ජලික සන්ධානය විසින් එවැනි ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කරන ලද වාර්තාවක් උපුටා දක්වමිනි.

එමෙන්ම ඒ සම්බන්ධ පැමිණිලි පොලිසිය භාර නොගන්නා බවට නීතිඥ ලක්ෂාන් ඩයස් කළ චෝදනාව ද තරයේ ප්‍රතික්ෂේප කරන අමාත්‍යවරයා පවසන්නේ ඒ සියල්ල රටේ සංහිඳියාව විනාශ කිරීමේ අරමුණින් කෙරෙන ප්‍රකාශ බවය.

"ජනතාව ආණ්ඩුවකට දීපු බලය පැහැර ගන්න, බලපෑම් කරන්න ඉඩ කඩ ලබාදෙන්න අපි ලෑස්ති නෑ. එහෙම කළොත් අපි ජනතාවට ද්‍රෝහි වෙනවා. එන්ජීඕවලට (NGO) විදියට රට ගෙනියන්න බෑ."

'රාජපක්ෂ යුගය'

පසුගිය දින කිහිපය මුළුල්ලේ ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා කරන ප්‍රකාශ, මහින්ද රාජපක්ෂ පාලනය සමයේ රාජ්‍ය නොවන සංවිධාන සහ මානව හිමිකම් ක්‍රියාකාරීන්ට එරෙහිව එල්ල වූ තර්ජන සිහිපත් කරවන භයානක පෙරනිමිත්තක් බව සිවිල් සමාජ සංවිධානවල නිවේදනයේ දැක්වේ.

මේ තත්ත්වය හේතුවෙන් රට තුළ මානව හිමිකම් සම්බන්ධ හඬ සහ විරුද්ධ මත දැරීමේ අයිතිය යටපත්ව යමින් පවතින බවත් ක්‍රියාකාරීහු පවසති.

එහෙත් වර්තමානයේ රටේ පවතින තත්ත්වය සහ එදා පැවති තත්ත්වය හාත්පසින්ම වෙනස් බව ද අමාත්‍ය විජේදාස රාජපක්ෂ බීබීසී සිංහල සේවයට පැවසීය.

"ඔබ ඔය දැන් අහන ප්‍රශ්න ටික වුනත් එදා ඇහුව නම් සමහර වෙලාවට මේ රටේ හිටිය නම් ඔබටත් යන්න වෙන්නේ සුදු වෑන් එකේ. එහෙම නැත්නම් දැලි පිහියෙන් තමයි කට කපාගන්න වෙන්නේ," යනුවෙන් සඳහන් කළ ඔහු, වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින නිදහස භාවිත කරමින් බොහෝ දෙනා "වගකීම් විරහිත ප්‍රකාශ" කරමින් ජාතීන් සහ ආගම් අතර පවතින සංහිඳියාව විනාශ කිරීමට උත්සාහ දරන බවට යළිත් වරක් චෝදනා කළේය.

ශ්‍රී ලංකාවේ ළමාරක්ෂක ක්‍රියාදාමයේ පවතින අඩු පාඩු සඳහන් කරමින් ඕස්ට්‍රේලියාවේ අධිකරණයක් වෙත ලබා දුන් ලිඛිත ප්‍රකාශයකින් අනතුරුව ජාතික ළමාරක්ෂක අධිකාරියේ නියෝජ්‍ය සභාපති සුජීව සමරනායක පදවියෙන් පහකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ නියෝගය ද සිවිල් සමාජ සංවිධානවල විවේචනයට ලක් වී තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර