කොළඹ කුණු පුත්තලමට

කොළඹ කුණු Image copyright RAVI YASAS/TWITTER

මීතොටමුල්ල කුණු කන්ද නාය ගොස් ජීවිත 32 ක් අහිමිවීමෙන් අනතුරුව කොළඹ නගරයේ කුණු කසල තවදුරටත් මීතොටමුල්ලට ගොඩ ගැසීම නවතා දැමිණ.

ඒ සමගම අගනුවර හා තදාසන්න ප්‍රදේශවල කුණු ඉවත් කිරීම ප්‍රබල ගැටලුවක් බවට පත් වූ අතර, බොහෝ ස්ථානවල කුණු කසල ගොඩ ගැසී තිබෙන ආකාරය දැකගන්නට ලැබිණ.

මේ ගැටලුවට විසඳුමක් වශයෙන් කොළඹ නගරය තුළ ඒකරාශී වන කුණු කසල සුරක්ෂිතව පුත්තලමට බැහැර කිරීමේ සැලසුමකට කැබිනට් මණ්ඩලය අඟහරුවාදා (ජුනි 28) අනුමැතිය පළ කළේය.

සබැඳි යොමු:

එම සැලසුම ප්‍රකාර අගනුවර දෛනිකව ඒකරාශී වන මෙට්‍රික් ටොන් 1,200 කට ආසන්න ඝන අපද්‍රව්‍ය ඇසුරුම් කර අඩි 20 බහාලුම මගින් කැලණියේ සිට පුත්තලමේ අරුවක්කාළු ප්‍රදේශය වෙත දුම්රියෙන් ප්‍රවාහනය කෙරේ.

එහි හුණුගල් ලබාගැනීම සඳහා කැණීම් කර අත්හැර දමා තිබෙන ආකරවල ඉදිකිරීමට නියමිත සනීපාරක්ෂක බිම් පිරවුමකට සුරක්ෂිත ලෙස බැහැර කිරීම ආණ්ඩුවේ සැලසුමය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
කසල වෙන් කරන්නේ නැතුව පාරට දාන්න එපා!

මූලික පාරිසරික වාර්තා ලබාගැනීමෙන් අනතුරුව ඉදිරි මාස 06-08 ක කාලය තුළ මූලික මෙහෙයුම් ආරම්භ කිරීමට සැලසුම් කරන බවත් මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවේ දැක්වේ.

නව ව්‍යාපෘතිය සඳහා අරමුදල් සැපයීමට ලෝක බැංකුව මූලික එකඟතත්වයක් පළ කර තිබෙන බවත් ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.

කොළඹ ගොඩ ගැසෙන කුණු කසළ කළමනාකරණය කිරීම පිණිස තාවකාලිකව ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය යොදවන මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව සෞඛ්‍ය අමාත්‍ය රාජත සේනාරත්න පසුගියදා සඳහන් කළ නමුත් ඒ සඳහා හමුදාව යෙදවීමේ සැලසුමක් නොමැති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න පසුව සඳහන් කළේය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
නිවස තුළම කසල ප්‍රතිචක්‍රීකරණය කර ගන්නා ගෘහනියක්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර