ජනපති 'හොරෙන් කළ සාකච්ඡාව'

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
සයිටම් ගැන කැබිනට් මණ්ඩලයේ ස්ථාවරය

ජනාධිපතිවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර පසුගියදා පැවැත්වුණේ කිසිදු නිල තත්වයක් නොමැති "හොර සාකච්ඡාවක්" බව ජනාධිපතිවරයාම කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කළ බව රජයේ ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ගන්නා තීරණ පිළිබඳව රජයට සම්බන්ධ වෘත්තීය සමිතියක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග සාකච්ඡා පැවැත්වීමේ අවශ්‍යතාවක් නැතැයි කැබිනට් මණ්ඩලයේ දී අදහස් පළවූ බවද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසීය.

"මේක හොර සාකච්ඡාවක් කියලයි ජනාධිපතිතුමා පටන් ගෙන තියෙන්නේ. ඡායාරූප නැහැ. සටහන් නැහැ. වීඩියෝ නැහැ, මොකුත් නැහැ."

ජනාධිපතිවරයා කළේ හොර සාකච්ඡාවක් නම් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසූ පරිදි එයින් අනතුරුව නිවේදනයක් නිකුත් කළේ මන්දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ එවැනි සාකච්ඡාවක් පැවති බවක් නිවේදනයේ සඳහන් නොවන බවය.

සබැඳි යොමු:

සයිටම් සම්බන්ධයෙන් රජය දක්වා ඇති ස්ථාවරය ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ සහ කැබිනට් මණ්ඩලයේ ස්ථාවරය විනා එය තමන්ගේ පුද්ගලික මතයක් නොවන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

රජයේ අමාත්‍යවරුන්ද සයිටම් ආයතනය වසා දැමිය යුතුය හෝ ජනසතු කළ යුතුය යන්න ඇතැම් අමාත්‍යවරුන්ද පවසන බව පෙන්වාදුන් විට සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ කැබිනට් මණ්ඩලයේ සාමූහික තීරණවලට ඔවුන් විරෝධය පළ නොකළ බවය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
සයිටම් විරෝධය

"දැන් ඔය පත්තරවලට කියන ඒවා, කැබිනට් එකේ කියන්න එපාය, කවුරුත් විරුද්ධ වුනේ නැහැ. ජනාධිපතිතුමාට තිබුණ ප්‍රධානතම ප්‍රශ්නේ තමයි ඇයි මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හමුවිය යුත්තේ මේ ගැන සාකච්ඡා කරන්න කියලා."

රෝහල පවරා ගැනේ

සයිටම් ආයතනය ජනසතු කළ යුතුය යන මතය දරන අමාත්‍ය දයාසිරි ජයසේකර ඒ අවස්ථාවේ ඒ පිළිබඳව කිසිවක් සඳහන් නොකළේය.

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ස්ථාපනය කිරීම සඳහා SAITM ආයතනය විසින් ලංකා බැංකුවෙන් ලබා ගනු ලැබ ඇති ණය මුදල වසර 10ක් තුළ නිරවුල් කිරීමෙන් අනතුරුව, රෝහල සම්පූර්ණයෙන්ම රජය වෙත පවරා ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

තවද, දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය විද්‍යා (SAITM) ආයතනයේ අයිතිය පුළුල් කිරීම සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශ්ව විමසා යෝජනා ඉදිරිපත් කිරීමට ද තීරණය කෙරිණ.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව බ්‍රහස්පතින්දා (ජුනි 29) රැස්වී ඉදිරි ක්‍රියාමාර්ග ගැන තීරණයක් ගන්නා බව එම සංගමයේ ලේකම් වෛද්‍ය නවින් සොයිසා පැවසීය.

රජය තම ඉල්ලීම් සඳහා සාධාරණ විසඳුමක් ලබා නොදෙන්නේ නම් සිය විරෝධය වර්ජනයක් දක්වා වර්ධනය විය හැකි බවත් ඔහු පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර