“ටුක් ටුක්” ගමන ප්‍රවේශමෙන්;ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් උපදෙස්

Image caption දකුණු ආසියානු රටවල කුලීරථ සේවාව ත්‍රිරෝද රිය මත පදනම් වෙයි

ත්‍රිරෝද කුලී රථ (Tuk Tuk) පාවිච්චියේ දී බෙහෙවින් ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ වාසය කරන සහ සංචාරය සඳහා පැමිණෙන තම රටවැසියන්ට උපදෙස් දෙයි.

කොළඹ ප්‍රදේශයේ කුලීරථ සේවයේ නිරත ඇතැම් ත්‍රිරෝද රියැදුරන් මගී කාන්තාවන් ස්පර්ශ කිරීම වැනි අයහපත් සිදුවීම් වැඩි වීමත් සමඟ තම රටවැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතිබව ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයක දැක්වෙයි.

එම තත්වය පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙස සිය රටවැසියන්ට උපදෙස් දෙන ඇමෙරිකානු තානාපති කාර්යාලය, මහමඟ දී හෝ නිවසේ දී අපරාධකරුවන්ගේ ගොදුරක් වීමෙන් වළකින ලෙසත් කියා සිටියි.

ඉහත කී තත්වය යටතේ තනිව ත්‍රිරෝද කුලී රථ වලින් ගමන් ගැනීමෙන් වළකින ලෙස තානාපති කාර්යාලය කාන්තාවන්ට උපදෙස් දෙයි.

Image copyright Tuk tuk kella
Image caption කුලියක් බලා සිටින 'ටුක් ටුක්' රියක්

විශේෂයෙන්ම රාත්‍රි කාලයේ සංචාරය කරන්නේ නම් ත්‍රිරෝද රියක් නොව සමාගමක් මගින් ඇණවුම් කරන ලද කුලී රියක් පාවිච්චි කරන ලෙසත් එම අදාළ ගමන පිළිබඳව පවුලේ සාමාජිකයන් හෝ මිතුරන් දැනුවත් කරන ලෙසත් ඇමෙරිකානු නිලධාරීහු පවසති.

ඔවුන්ගේ තවත් උපදේශයක් වන්නේ කුලී රථයට ඇතුල් වීමට පෙර රියැදුරාගේ සහ වාහනයේ අංකයේ පින්තූරයක් ගන්නා ලෙසයි.

ඇමෙරිකානු තානාපති කාර්යාලයේ තවත් උපදෙසක් වන්නේ, "බොහෝ සිදුවීම්" ගමනාන්තයේ දී වාර්තා වී ඇති හෙයින් ගමනක් නිමාවේ විශේෂ සෝදිසියකින් පසුවිය යුතු අතර, ත්‍රිරෝද කුලී රථයක් (Tuk Tuk) තුළ ගත කරන කාලය අවම කරන ලෙසයි.

ගමන් මළු වැනි දෙයක් යොදා ගනිමින් රියැදුරා සහ මගියා අතර පරතරයක් තබා ගන්නා ලෙසත් එම උපදෙස් මාලාවේ දැක්වෙයි.

අවශ්‍ය තත්වයක් උද්ගත වුවහොත් බලය පාවිච්චි කිරීමට පසුබට නොවන ලෙස පවසන ඇමෙරිකානු තානාපති කාර්යාලය, අනතුරක් වේනම් කෑ ගසන ලෙසත්, දැඩිව කටයුතු කරන ලෙසත් උපදෙස් දෙමින් ආත්මාරක්ෂාව සඳහා පෙරළා පහර දෙන ලෙසත් කියා සිටියි.

Image caption ආසියාවේ පමණක් නොව අප්‍රිකානු රටවලත්

එවැනි පියවර ගැනීම මගින් සිද්ධිය කෙරෙහි "සෙසු ජනයාගේ අවධානය යොමු වනවා පමණක් නොව ප්‍රහාරකයා තිගැස්මට පත් කෙරෙන බවත්" ඇමෙරිකානු තානාපති කාර්යාලයේ උපදෙස් මගින් පැවසෙයි.

වටිනා රන් ආභරණ සහ විශාල මුදල් ප්‍රමාණයක් ළඟ ඇතිබව පෙනෙන්නට සැලැස්වීම තමා අපරාධ කරුවකුගේ ගොදුරක් වීමට ඇති ඉඩකඩ වැඩි කෙරෙන බව ඔවුහු පෙන්වා දෙති.

නිවසේ සිටින විට දොරගුළු ලා සිටින ලෙසත් එම උපදෙස් මගින් නිර්දේශ කෙරෙයි.

එසේම, සිය ජංගම දුරකථනය අවශ්‍ය මොහොතක වහාම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බල ශක්තිය (charge) සහිත බව සහතික කර ගන්නා ලෙසත්, එසේ නැත්නම් අතිරේක 'චාජරයක්' ළඟ තබා ගන්නා ලෙසත් උපදෙස් දෙන කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය හදිසියක දී සම්බන්ධ කරගත යුතු සමීපතමයන්ගේ අංක දුරකථනයට ඇතුළත් කර තබන ලෙසත් කියා සිටියි.

Image caption සංචාරකයන් අතරත් ජනප්‍රිය ලාභ කුලී රථය-ත්‍රිරෝද රිය .

ආරක්ෂාවට අදාළ පණිවුඩ ලබා ගැනීම සහ අවදානමකට ලක් වූ පුද්ගලයා සිටින තැන සොයා ගනු ලැබීම පහසු කිරීම සඳහා 'The Smart Traveler Enrollment Program' (STEP) වැඩ සටහනට ඇතුළත් වෙන ලෙස ඇමෙරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ සහ මාල දිවයින් ජනරජයේ වෙසෙන සිය රටවැසියන්ට දැඩිව උපදෙස් දෙයි.

STEP යනු විදේශගත ඇමෙරිකානු පුරවැසියන්ට ඔවුන්ගේ සංචාර පිළිබඳව ලංගම පිහිටි සිය තානාපති කාර්යාලය සම්බන්ධ කෙරෙන ගාස්තු අය නොකෙරන වැඩ සටහනකි.