'මයිලඩි' ඉඩම් සහ ධීවර වරාය යළි මහජනයාට

යාපනයේ ඉඩම් අක්කර පනස් හතරක් සහ මෙයින් අවුරුදු විසි හතකට පෙර පවරා ගන්නා ලද ධීවර වරායක් ආපසු මහජනයාට පැවරීමට ශ්‍රී ලංකා යුද හමුදාව පියවර ගෙන ඇත.

ධීවර ජනයාට පවරා දෙනු ලබන්නේ 'මයිලඩි'(Myladi) වරායයි.

එම ඉඩම් සහ ධීවර වරාය මහජනයාට පැවරීම නිල මට්ටමින් ප්‍රකාශයට පත් කෙරෙන්නේ හෙට (ජූලි 04) යාපනයේ දී උත්සවයකදීය.

ප්‍රදේශයේ දෙසීයකට ආසන්න දෙමළ පවුල්වලට යළි එම ඉඩම්වල පදිංචි විය හැකි බව යුද හමුදාව පවසයි.

එම ඉඩම්වල සැබෑ අයිතිකරුවන්ට හෝ ඔවුන්ගේ ලඟම උරුමකරුවන්ට එම ඉඩම් භාර දෙන බවත් යුද හමුදා ප්‍රකාශනයක දැක්වෙයි.

බෙදුම්වාදී දෙමළ කොටි සංවිධානයට එරෙහිව ගෙනගිය යුද්ධයේ දී යුද හමුදාව පෞද්ගලික ඉඩම් පවරා ගනු ලැබීමෙන් දස දහස් ගණනක් ජනතාවට උන්හිටිතැන් අහිමි විය.

යුද්ධය නිම වී වසර හතක් ගත වී ඇතත් එම ජනතාව තවමත් ජීවත් වන්නේ කඳවුරු වලයි.

Image caption ඉඩම් අහිමි ජනජීවිත තත්වය

'මයිලඩි' ධීවර වරාය සහ ඉඩම් සාමාන්‍ය ජනතාවට පවරනු ලැබීම අගය කළ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්, යුද හමුදාව භාරයේ පවතින වෙනත් ප්‍රදේශවල ඇති ඉඩකඩම් ද ඒවායේ අයිතිකරුවන්ට පවරන මෙන් ඉල්ලීමක් කරයි.

යාපනයේ 'ඌරනි'(Urani) ප්‍රදේශයේ යුද හමුදාව අත පවතින තවත් ඉඩම් අක්කර තිස් පහක් ද මහජනයාට පවරන බව ඉහත කී යුද හමුදා ප්‍රකාශනයේ දැක්වෙයි.