ඩෙංගු: "අපි එන බයට තමයි පිරිසිදු කරන්නේ"

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
ඩෙංගු: "අපි එන බයට තමයි පිරිසිදු කරන්නේ"

ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් මෙම වසර ඇතුළත පමණක් මියගිය සංඛ්‍යාව 226 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ වාර්තා සඳහන් කරයි.

2017 වසර තුළ මේ දක්වා ඩෙංගු රෝගීන් 71,000ක් වාර්තා වී ඇති බවද සෞඛ්‍ය බලධාරීහු පවසති.

සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සහාය ඇතිව තාවකාලික වාට්ටු ඉදිකර ඇති බවය.

මේ අතරතුර කොළඹ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, ශ්‍රී ලංකා පොලිසිය හා ශ්‍රී ලංකා යුධ හමුදාව සමඟ එක්වී තොටළඟ ප්‍රදේශයේ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර දැමීම සඳහා අද (ජූලි 03) මෙහෙයුමක් දියත් කළහ.

එහිදී මදුරුවන් බෝවන ස්ථාන රැසක් විනාශ කර දැමීමට හැකිවූ ආකාරය එහි ගිය බීබීසී සිංහල කණ්ඩායමට දැක ගත හැකි විය.

වසා දමා තිබූ නිවාස හා අතහැර දැමූ ඉඩම්වල මදුරුවන් බෝවන ස්ථාන විශාල වශයෙන් දක්නට ලැබුණි.

මදුරුවන් බෝවන ස්ථාන පරික්ෂා කිරීමට නිලධාරීන් පැමිණෙන බවට වන ආරංචියත් සමග ප්‍රදේශයේ ජනතාව තම නිවෙස් අවට පිරිසිදු කිරීම් ඒවනවිටත් ආරම්හකර තිබුණි.

"අපි එන බයට"

"අපි එන බයට තමයි මේගොල්ලෝ පිරිසිදු කරන්නේ, අපිටත් හැමදාම එන්න බැහැ මේවා බලන්න, මේ මිනිස්සුන්ට මේකේ භයානක කම තේරෙන්න මීට වඩා දැනුවත් කරන්න ඕන" පරිසර පොලිසියේ නිලධාරියෙක් පැවසුවේ ජනතාව තුළින්ම මෙලෙස පරිසරය පිරිසිදු කිරීමේ වැදගත්කම මතුවන තෙක් ඩෙංගු වැනි ගැට‍ළු සම්පූර්ණයෙන්ම විසදිය නොහැකි බව මතක් කරමිනි.

ජනතාවගේ නිවෙස් තුළට ගොස් එහි වතුර රැඳී ඇති තැන් සහ රැඳීය හැකි තැන් සොයා බලා ඒ ගැන ජනතාවට උපදෙස් දීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කළ අතර යුධ හමුදා සාමාජිකයන් එම ස්ථාන විනාශ කිරීමට කටයුතු කළහ.

විශේෂයෙන්ම නිවෙස්වල ඇති ශීතකරණ හා මල්පෝච්චි වැනි දෑ තුළ රැඳී ඇති වතුර ගැන සැලකිලිමත් වන ලෙස ජනතාවට උපදෙස් දෙන ලදී.

ප්‍රදේශයේ ස්ථාන රැසක ගොඩ ගැසී ඇති කසළ ගොඩවල් දක්නට ලැබිණි.

එම ප්‍රදේශයේ කුණු නිසි ලෙස ඉවත්කිරීමට බලධාරීන් කටයුතු නොකිරීම ගැන මෙහිදී ජනතාව චෝදනා කළ අතර කුණු නිසි ලෙස වෙන්කර ලබානොදීම එම තත්වයට හේතුවී ඇති බව බලධාරීහු පවසති.