බුදු දහමට හිමි ස්ථානය අහිමි කරන්නේ නෑ - අගමැති

අගමැති රනිල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේදී වත්මන් ව්‍යවස්ථාවෙන් බුදු දහමට ලබා දී තිබෙන ආරක්ෂාව ඉවත් කිරීමට කිසිදු සැලසුමක් නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ යළිත් වරක් අවධාරණය කළේය.

"එක්සත් ජාතික පක්ෂයටත්, ජනාධිපතිතුමාත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපි ඔක්කොම එකඟවෙලා තියෙනව -මම හිතන්නේ නෑ කවුරුත් ඒකට විරුද්ධ වෙනවා කියල - බුද්ධාගමේ ප්‍රමුඛස්ථානය ඉවත් කරන්නේ නෑ කියල," පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අගමැතිවරයා පැවසීය.

"මම ඒක මහා නායක ස්වාමීන් වහන්සේ හම්බවෙලා මගේ වගකීමෙන් කිවුවේ."

අගමැති රනිල් වික්‍රමසිංහ ඒ බව කියා සිටියේ, නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා මතු කළ කරුණුවලට පිළිතුරු දෙමිනි.

සබැඳි යොමු:

රාජ්‍යය බුදු දහම ආරක්ෂා කර පෝෂණය කරන බව සඳහන් ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය සංශෝධනය කළ යුතු බව සඳහන් ලියවිල්ලක් ආණ්ඩුව විසින් පසුගිය සතියේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති රැස්වීමක් දී බෙදා හැර තිබුණු බවට ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කළේය.

"අගමැතිතුමා ඒක විවෘත කරලා ගියා, දකුණු අප්‍රිකාවේ හිටපු විනිසුරුතුමාගේ දේශනයෙන් පස්සේ. ඊට පස්සේ තිබුණු සැසිවාරවල මේවා සාකච්ඡාවට ලක් කළා," දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පැවසීය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමියෝ

එහෙත් අගමැතිවරයා අවධාරණය කළේ, ආණ්ඩුව තවමත් නව ව්‍යවස්ථා කෙටුම්පතක් ආණ්ඩුව සම්පාදනය කර නැති බවය.

"ඒ සාකච්ඡාව දැන් යනවා. ඒ අතරේ විටින් විට විවිධ යෝජනා ඇවිල්ල තියෙනව. විකල්ප යෝජනා. ඒ යෝජනා ගැන සාරාංශ හදල තියෙනව. ඒත් අපි කිසිවිටෙක ඒවා එක වාර්තාවක දාලත් නෑ, පිටකරලත් නෑ," අගමැතිවරයා පැවසීය.

ආණ්ඩුව එවැනි ලියවිල්ලක් සකස් කර නොමැති බව එහිදී අදහස් දැක්වූ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ද සඳහන් කළේය.

සබැඳි යොමු:

මහා නායක හිමිවරු

ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නැතැයි ත්‍රෛනිකායික මහා නාහිමිවරු ඇතුළු මහා සංඝරත්නය බදාදා (ජුලි 04) ආණ්ඩුවට දැනුම් දුන්නේය.

"නැති ගැටළු ඇතිකරන අලුතින් ව්‍යවස්ථාවක් සකස් කිරීම කිසිසේත් සුදුසු නොවන," බව මහනුවරදී පැවති ඒකාබද්ධ රැස්වීමෙන් අනතුරුව මහා සංඝරත්නයේ තීරණය වූ බව අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමියෝ අනුනාහිමියෝ සඳහන් කළහ.

එයට ප්‍රතිචාර දක්වමින් කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියා සිටියේ, ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පිණිස ආණ්ඩුවට පසුගිය ජනපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීත් ජනවරමක් ලැබී තිබෙන බවය.

එබැවින් එම ජනවරමට පිටුපෑමට ආණ්ඩුවේ බලාපොරොත්තුවක් නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර