මහා නාහිමිවරුන්ට ජනපතිගෙන් සහතිකයක්

ජනපති සහ මහා නාහිමි හමුව Image copyright Twitter/@MaithripalaS

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධ මූලික කෙටුම්පතක් සකස් කළ හොත් ඒ පිළිබඳව දැනුම් දෙන්නේ යයි මහා සංඝරත්නයට සහතික කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා ඒ බව පවසන්නේ මහනුවර දී මහා නාහිමිවරුන් මුණගැසීමෙන් අනතුරුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.

නව ව්‍යවස්ථාව සකස් කිරීම "විනිවිද පෙනෙන සුළු ක්‍රියාදාමයක්" බව ද ජනාධිපතිවරයාගේ පණිවුඩයේ දැක්වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහා නාහිමිවරුන් මුණගැසුනේ ශ්‍රී ලංකාවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් අනවශ්‍ය බවට ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමෙන් දින දෙකකට පසුවය.

සබැඳි යොමු:

"නැති ගැටළු ඇතිකරන අලුතින් ව්‍යවස්ථාවක් සකස් කිරීම කිසිසේත් සුදුසු නොවන," බව බදාදා (ජුලි 04) මහනුවරදී පැවති ඒකාබද්ධ රැස්වීමෙන් අනතුරුව මහා සංඝරත්නයේ තීරණය වූ බව අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමියෝ සඳහන් කළහ.

එයට ප්‍රතිචාර දක්වමින් කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියා සිටියේ, ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පිණිස පසුගිය ජනපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීත් ආණ්ඩුවට ජනවරමක් ලැබී තිබෙන බවය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමියෝ

මේ අතර බ්‍රහස්පතින්දා (ජුලි 06) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ, ව්‍යවස්ථාවෙන් බුදු දහමට ලබා දී තිබෙන ස්ථානය අහිමි කිරීමට කිසිදු සැලසුමක් නොමැති බව අවධාරණය කළේය.

එකඟතාවක් නෑ

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරන්නේ ද, නො එසේනම් පවතින ව්‍යවස්ථාවම සංශෝධනය කරන්නේ ද යන්න සම්බන්ධයෙන් තවමත් ප්‍රධාන පක්ෂ දෙක මූලික එකඟතාවකට එළැඹි නැත.

විශේෂයෙන්ම ව්‍යවස්ථා සංශෝධනයක් වැනි "කාරණා රාශියක්" සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යාම ඉතා සංකීර්ණ බැවින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයෙන් "ව්‍යවස්ථා සංශෝධනයක්" ක්‍රියාවට නැගීමට උත්සාහ දැරීම සිය පක්ෂයේ උත්සාහය බව පසුගියදා බීබීසී සිංහල සේවය ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක අමාත්‍යවරයා සඳහන් කළේය.

මහා නාහිමිවරුන් හමුවීමෙන් අනතුරුව ජනාධිපතිවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්වෙන්නේ ද "නව ව්‍යවස්ථාවක් සම්බන්ධ මූලික කෙටුම්පතක් සකස් කළ හොත්" යනුවෙනි.

එහෙත් අනිවාර්යයෙන්ම නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර ජනමත විචාරණයකින් එයට ජනතා අනුමැතිය ලබාගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ ද ස්ථාවරය වී තිබේ.

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකරගත යුතු නැතැයි මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් ද මීට ඉහතදී සඳහන් කර තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර