ශ්‍රී ලංකාව බොටම් ට්‍රෝලින් තහනම් කළේ ඉන්දීය ධීවරයන් නිසාද?

බොටම් ට්‍රෝලින් පන්න ක්‍රමය Image copyright Twitter/@srilankaglobal
Image caption බොටම් ට්‍රෝලින් පන්න ක්‍රමය

දෙමළ ජාතික සන්ධානයේ යාපන දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, එම්ඒ සුමන්දිරන් ගේ යෝජනාවක් ප්‍රකාර ඉදිරිපත් කෙරුණ ධීවර හා ජලජ සම්පත් (සංශෝධන ) පනත් කෙටුම්පත බ්‍රහස්පතින්දා (ජුලි 06) පාර්ලිමේන්තුවේ සම්මත විය.

ඒ සමගම ශ්‍රී ලංකාවේ මුහුදු තීරය තුළ බොටම් ට්‍රෝලින් (Bottom Trawling) පන්න ක්‍රමයෙන් මසුන් මැරීම සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලැබ තිබේ.

ඒ අනුව අදාළ පන්න ක්‍රමය තහනම් කළ පළමු ආසියානු රට බවට ශ්‍රී ලංකාව පත්වන බව බොටම් ට්‍රෝලින් තහනම් කරන මෙන් ඉල්ලා සිටි වෙරිටේ (Verite Research) පර්යේෂණ ආයතනය පවසයි.

එය තහනම් කිරීම පිළිබඳව දේශපාලන නායකයන්, ධීවර නායකයන් සහ පර්යේෂකයෝ ද ප්‍රසාදය පළකරති.

බොටම් ට්‍රෝලින් යනු කුමක්ද?

ධීවර බෝට්ටුවල පතුළේ සවිකරන රේල් පීලි වැනි යකඩ තහඩුවලට ධීවර දැල් සවි කර එය මුහුදු පතුල දිගේ ඇද ගෙන යාම බොටම් ට්‍රෝලින් යනුවෙන් හැඳින්වේ.

විශේෂයෙන්ම මුහුදු පතුලේ වෙසෙන ඉස්සන් සහ මුහුදු කූඩැල්ලන් අල්ලා ගැනීම එහි අරමුණය.

ශ්‍රී ලංකාවේ උතුරේ ධීවරයන් පිරිසක් එලෙස එක් බෝට්ටුවක එවැනි තහඩු සවිකර ඉස්සන් ඇල්ලූ අතර, ශ්‍රී ලංකා මුහුදු තීරයට පැමිණෙන ඉන්දීය ධීවරයන් ට්‍රෝලර් යාත්‍රා දෙකක් එකවර යොදාගෙන මෙම පන්න ක්‍රමය ක්‍රියාත්මක කළ බව ජාතික ධීවර සහයෝගිතා සංවිධානයේ හර්මන් කුමාර බීබීසී සිංහල සේවයට පැවසීය.

එහි ප්‍රතිඵලයක් ලෙසින් මුහුදු පතුලේ පවතින කොරල් පර, මත්ස්‍යයන්ගේ ආහාර සපයන මුහුදු ශාක වර්ග ඇතුළු සාගරයේ ජෛව විවිධත්වය කලක් මුළුල්ලේම විනාශවෙමින් පැවති බවත් ඔහු පෙන්වා දුන්නේය.

Image copyright verite research/twitter

"අවුරුදු දහස් ගණන් පැරණි කොරල් පර විනාශ වුනා. කොරල් පර කියන්නේ මාළු බෝවෙන් ස්ථාන. අනික (seaweed) වගේ මාළුන්ගේ ආහාර විනාශ වෙනවා," යනුවෙන් සඳහන් කළ හර්මන් කුමාර, එබැවින් එය තහනම් කරන මෙන් සුමන්දිරන් මන්ත්‍රීවරයා යෝජනාවක් ඉදිරිපත් කිරීම මෙන්ම එය පාරෙලිමේන්තුවේ ඒකමතිකව සම්මතවීම පිළිබඳව සිය සංවිධානය සතුටුවන බවත් සඳහන් කළේය.

"මේකෙන් අපි ලෝකයටම ආදර්ශයක් දීම හොඳ දෙයක් කියල මම හිතනවා."

පරිසර හානිය

පාර්ලිමේන්තු විවාදයේදී ඒ අදහස් අනුමත කරමින් කතා කළ ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි, දේශීය ධීවරයා රැකගැනීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්නේය.

"පරිසරයට හානියක් නොවන ආකාරයට ඉස්සන් වගාව කරන ආකාරය නරා ආයතනය පරීක්ෂණවල දී පෙන්වා දී තිබෙනවා. අපේ දේශීය ධීවරයා ආරක්ෂා කර ගන්න ඕන. දේශීය පන්න ක්‍රමය රැකගන්න ඕන. පන්න ක්‍රම වලට නීතිරීති ඇති කර පන්න ක්‍රම ක්‍රියාත්මක කළ යුතුයි," යනුවෙන් ද රාජ්‍ය ඇමතිවරයා කියා සිටියේය.

Image copyright Getty Images

යෝජනාව ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ ධීවර අමාත්‍ය මහින්ද අමරවීර, මත්ස්‍ය අස්වැන්න අඩුවීම කෙටි කාලීන වුවත් දීර්ග කාලීනව මත්ස්‍ය සම්පත ආරක්ෂා කරගනිමින් ධීවරයන් ආරක්ෂා කරගැනීමට සියලු තහනම් පන්න ක්‍රම එකිනෙක නතර කරමින් සිටින බව කියා සිටියේය.

"බොටම් ට්‍රෝලීන් ධීවර ක්‍රමය මගින් මුහුදු පතුලේ සිටින මුහුදු ජීවීන් විනාශ වන බව පෙන්වා දී තිබුණා. ධීවර ප්‍රජාව දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළා, මෙම පන්න ක්‍රමය නතර කිරීමට විධිමත් ක්‍රියාවලියකට එන්න කියලා," ඇමතිවරයා පැවසීය.

නව පනත අනුව අනාගතයේදී බොටම් ට්‍රෝලින් ක්‍රමයෙන් ධීවර කර්මාන්තයේ යෙදෙන පුද්ගලයන්ට වසර දෙකකට නොවැඩි සිර දඬුවමක් සහ රුපියල් පනස් දහසක අවම දඩ මුදලක් නියම කළ හැකිය.

2020 දී ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදනය ඉහළම තලයකට ගෙන ඒමට ක්‍රියාකරන බවට ද අමාත්‍යවරයා ප්‍රතිඥා දුන්නේය.

බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව අමතමින් තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර: "ඩයිනමයිට් යොදා මසුන් මැරීම මරන්නන්ට පුපුරන ද්‍රව්‍ය ආඥා පනත යටතේ නඩු පැවරීමට නාවික හමුදාවට හා පොලීසියට උපදෙස් ලබාදී තිබෙනවා. තහනම් පන්න ක්‍රම රාශියක් තහනම් කිරීමට කටයුතු කරන්නේ අනාගතයට මත්ස්‍ය සම්පත ඉතුරු කිරීමටයි," යනුවෙන් ද සඳහන් කළේය.

Image copyright VW Pics/getty images
Image caption මුහුදු පතුලේ දර්ශනයක්

මේ වසර අවසන්වීමට පෙර ධීවර ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට ක්‍රියාකරන බව වැඩිදුරටත් කියා සිටි අමාත්‍යවරයා, ඒ සඳහා නොමිලේ තාක්ෂණික සහාය ලබාදීමට නෝර්වේ රජය ඉදිරිපත් වී සිටින බවත් පැවසීය.

'මුඩු බිමක්'

කෙසේ නමුත් නව තහනම මගින් උතුරේ ධීවරයන් පිරිසකට ජීවිකාව අහිමිවනු ඇතැයි උතුරු පළාත් සභාව අවධානය පළ කර තිබිණ.

පේසාලේ, ගුරුනගර් සහ වඩමාරච්චි ප්‍රදේශවල 1300 කට ආසන්න ධීවරයන් බොටම් ට්‍රෝලින් ක්‍රමයෙන් සිය ජීවිකාව පවත්වාගෙන ගිය බව ධීවර නායක හර්මන් කුමාර බීබීසී සිංහල සේවයට පැවසීය.

ඒ පිළිබඳව ජාතික ධීවර සහයෝගිතා සංවිධානය උතුරු පළාතේ ධීවර ජනතා එකමුතුව සමග සාකච්ඡා කළ අවස්ථාවේ ඔවුන් ද මේ තහනමට එකඟ වූ බවත් ඔහු සඳහන් කළේය.

උතුරු පළාතේ ධීවරයන්ගේ ජීවිකාව ආරක්ෂා කරගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි ද අවධානය යොමු කළේය.

Image copyright AFP

"අපේ රටේ උතුරේ හෝ දකුණේ ධීවරයාගේ අයිතිය රැක දෙන්න, අභිමානය රැක දෙන්න, කටයුතු කරන අතර උතුරේ ධීවරයා ආරක්ෂා කරනවා. ට්‍රෝලින් ක්‍රමය නිසා මුහුදු පතුලේ ජල ජීවින්, කොරල් පර විනාශ වෙනවා. උතුරු මුහුදු තීරය මුඩු බිමක් වෙලා ඉවරයි. අධි බල ඇති ට්‍රෝලින් ක්‍රමය භාවිතා කරනවා," රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

නව පනත සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමින් ජනාධිපති නීතිඥ එම්ඒ සුමන්දිරන් සඳහන් කළේ මෙතෙක් බොටම් ට්‍රෝලින් ක්‍රමයෙන් දිවි ගෙවූ ධීවරයන්ට විකල්ප ජීවෙන් ක්‍රමයක් සොයාදීමට බලධාරීන් කටයුතු කළ යුතු බවය.

ඉන්දීය ධීවරයෝ

1974 ඉන්දු-ලංකා ගිවිසුම ප්‍රකාර ශ්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් මැරීමට තමන්ට 'සාම්ප්‍රදායික අයිතියක්' තිබෙන බව තමිල්නාඩුව ඇතුළු ඉන්දීය ධීවරයන්ගේ තර්කය වී තිබේ.

උතුරේ ධීවරයන් නිරන්තරයෙන් ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළුවීම දෙරට ධීවර ප්‍රජාව අතර වරින්වර ගැටුම් හටගැනීමට ද තුඩු දී තිබේ.

විශේෂයෙන්ම ඉන්දියාව බොටම් ට්‍රෝලින් පන්න ක්‍රමය සඳහා බලපත්‍ර නිකුත්කර තිබීම මෙම ගැටලුව උග්‍රවීමට ප්‍රධාන හේතුවක් බව ධීවර නායක හර්මන් කුමාර පෙන්වා දෙයි.

එහි ප්‍රතිඵලයක් ලෙසින් ඉන්දීය මුහුදු තීරයේ මත්ස්‍ය සම්පත අඩුවීම හේතුවෙන් ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු තීරයට පැමිණෙමින් සිටින බව ඔහු පවසයි.

එබැවින් බොටම් ට්‍රෝලින් තහනම් කිරීම ඉන්දු-ලංකා ධීවර ගැටලුව විසඳීමේ ප්‍රධාන ඉදිරි පියවරක් වනු ඇති බව වෙරිටේ පර්යේෂණ ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂ ගෙහාන් ගුණතිලක ගේ අදහසය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්